විදුලි ගාස්තු 20% කින් පහතට

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු 20% කින් අඩුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන උපයෝගීතා කොමිසම මේ බව සඳහන් කළා.

විදුලිබල මණ්ඩලය විසින් ගාස්තුවල කිසිඳු සංශෝධනයක් සිදු නොකරන ලෙස මහජන උපයෝගීතා කොමසමට යෝජනා කර තිබූ බවත් අනතුරුව මහජන උපයෝගීතා කොමිසම 11% ක ගාස්තු අඩු කිරීමක් යෝජනා කළ බවත් පසුව මහජන උපදේශනය ලබා ගැනීමෙන් අනතුරුව ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත් කළ බවයි බව මහජන උපයෝගීතා කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් වැඩිදුරටත් සඳහන් කළේ.

ඇල්ල ඔඩිසි දුම්රිය ටිකට්පත් මාෆියාව ගැන CID යට පැමිණිල්ලක්

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය E ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්ත්පර 4‍2 ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන්වීම පසුපස මහා පරිමාණ වංචාවක් සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඒ අනුව මෙම ටිකට්පත් ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ ආකාරයෙන් ක්ෂණිකව ටිකට්පත් සියල්ල මිලට ගන්නා කණ්ඩායම් රුපියල් 2,000 ක වටිනාකමින් යුත් ටිකට්පතක් විදේශිකයින්ට රුපියල් 16,000 ට අලෙවි කළ අවස්ථා වාර්තා වන බවද ඔහු සඳහන් කළා.

කොළඹ කොටුව, මහනුවර හා ඇල්ල දුම්රිය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීමේ ජාවාරම ක්‍රියාත්මක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව ගමන් වාරය සඳහා අදාළ දිනයට වලංගු E ටිකට්පත් මාසයකට ඉහත දී අන්තර්ජාලය වෙත මුදාහරින බවත් එසේ මුදාහැර බලාසිටිය දී තත්පර 42 ක් වැනි කෙටි කාලයක දී ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම අඛණ්ඩව සිදුවෙමින් තිබෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මල්වතු ඔය ආශ්‍රිත ගංවතුර අවදානම් නිවේදනය දීර්ඝ කෙරේ

මත්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිත ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 දක්වා දිර්ඝ කර තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට සහ අතුරු මාර්ගවල ගමන් ගන්නා ජනතාවට දැඩි සැලකිල්ලෙන් පසුවෙන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6788e85b3bf84

කොහුවලදී වෙඩි තැබීමක්

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව කොහුවල පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවවි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පොඩි ලැසී මුම්බායි හිදී අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර පොලීසිය මගින් පොඩි ලැසී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අධිකරණය මගින් ඇප ලබා සිටි ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී මෙරටින් පලාගොස් තිබුණා.

අද කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (15) කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 226.35 කින් ඉහළ ගොස්, ඒකක 16,152.35 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 97.63කින් ඉහළ ගොස් ඒකක 4,905.92 ක් ලෙසත් සටහන් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

අද දිනයේ ගනුදෙනු පිරිවැටුම ලෙස රුපියල් බිලියන 4.44 ක් වාර්තා වී ඇති බවද වැඩිදුරටත් සඳහන්.

සිමෙන්ති සඳහා සෙස් බද්ද අඩුකිරීමේ යෝජනාවට අනුමැතිය

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ගෙන ආ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවන අතර, එමගින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් පමණ අඩුවන බවයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් දැනුම් දී ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබාදී ඇති බව වැඩිදුරටත් සඳහන්.

ජනපති සහ චීන ජනපති අතර නිල සාකච්ඡා ආරම්භ වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති Xi Jinping අතර නිල සාකච්ඡා මීට සුළු මොහොතකට පෙර ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අදාළ සාකච්ඡා එරට වේලාවෙන් පස්වරු 5.00 ට පමණ චීන මහජන ශාලාවේදී ආරම්භ වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම නිල සාකච්ඡාවලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද නියමිතව තිබෙනවා.

කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක්

කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (13) දිනට කොළඹ වරායෙන් බහාලුම් 459ක් නිදහස් කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කළේ.

රේගුවෙන් දිනකට පරීක්ෂා කර බහාලුම් 500ක් පමණ නිදහස් කළ හැකි වුවත් නිෂ්කාශන නියෝජිතයින්ගේ හා ලොරි රථ රියදුරන්ගේ පැමිණීම අඩු වූ නිසා නිදහස් කළ හැකි ප්‍රමාණය මෙසේ පහත මට්ටමක පැවතුණු බවයි සඳහන් වෙන්නේ.

අද (14) උදෑසන වනවිට දොරටු අවසරපත් නිකුත් කොට එහෙත් භාණ්ඩ පරීක්ෂණ අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහාලුම් 496ක් ඉතිරි වී ඇති බවත් අද නිවාඩු දිනයක් වුවත් රේගුව සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන බහාලුම් නිදහස් කිරීමේ කටයුතුවල යෙදෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය සිකුරාදා

විදුලි ගාස්තු සංශෝධනයට අදාල සිය අවසන් වාර්තාව එළඹෙන සිකුරාදා නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ඒ සඳහා මහජන අදහස් විමසීම ඉකුත් 10 වනදායින් අවසන් වු බවයි එම කොමිසම සඳහන් කළේ.

සෑම පළාතක්ම නියෝජනය වන පරිදි මහජන අදහස් ලබාගත් විමසීම සිදු කෙරුණු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.