සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට කටයුතු කර ඇති බව ලංකා සතොස ආයතනය පවසනවා.

ඒ අනුව ලොකු ළූණු, පාන්පිටි, සුදු සීනි, රතු පරිප්පු හා රතු කැකුළු සහල් මිල මෙලෙස අඩු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මෙම මිල අඩු කිරීම අද සිට දිවයින පුරා සතොස අලෙවිසැල් වලින් ලබා ගත හැකි බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ මිල දර්ශනය පහතින්.

මෙරට සැඟවුණු වත්කම් සොයාගැනීමට එක්සත් ජාතීන්ගේ සහයෝග​ය

රජය බලාපොරොත්තුවන සැඟවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා සහයෝගය ලබාදීමට තම ආයතනය සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැගීමේ කොමිසම සමග ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කර ඇති අතර, දූෂණ වංචා වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සම්පූර්ණ සහාය දීමට සූදානම් බවයි එහි නේවාසික සම්බන්ධීකාරක Marc-André ප්‍රකාශ කර තිබෙන්නේ.

එහිදී ශ්‍රී ලංකාව විසින් ශ්‍රී ලංකා සමුද්‍ර තීරයේ දී බේරාගත් රෝහින්යා සරණාගතයින්ට මානුෂික අයුරින් සලකන ලද ආකාරය ඔහුගේ ප්‍රශංසාවට ලක්ව ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වසර අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ප්‍රකාශ කර තිබෙනවා.

නව රජය විසින් බලාපොරොත්තු වන සැඟවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවල සහය ලබා දීමට සූදානම් බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ පැවති සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.

වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීම අද සිට සිදු කෙරේ

ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඒ අනුව වගා හානි සිදුවූ ගොවීන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කිරීමට පියවර ගන්නා බවයි එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි සඳහන් කළේ.

පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල අක්කර 13,379 ක් සඳහා අද මෙම ගෙවීම් සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ළමා ගැබ්ගැනීමේ සිදුවීම්වල ඉහළ යාමක්

2024 වසරේදී ළමා ගැබ්ගැනීමේ සිදුවීම්වල ඉහළ යාමක් පෙන්නුම් කරන බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර පවසනවා.

ඒ අනුව කළේ 2023 වසරේ ළමා ගැබ් ගැනීම් 167 ක් වාර්තා වූ අතර එය 2024 දී සිද්ධීන් 213 ක් දක්වා වර්ධනය වී ඇති බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඇය සඳහන් කළේ.

ළමා අපයෝජන සිදුවීම්ද 2023 වසරේ දී සිද්ධීන් 1,237 ක් හා 2024 වසරේ දී සිද්ධීන් 1,254 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිනිය ප්‍රකාශ කළා.

මෙහිදී ගැබ් ගැනීමට ලක්වන දරුවා සහ ඉපදීමට සිටින දරුවාද වින්දිත තත්ත්වයට පත්වෙන බවත් බොහෝවිට අධ්‍යාපන කේෂ්ත්‍රයෙන් එම දරුවන් ඉවත්වන නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

හබරණ – මින්නේරිය ප්‍රදේශයේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 ක් තුවාල ලබයි

හබරණ – මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 16 ක් තුවාල ලබා තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පිරිස රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ලංගම බස් රථයක් හා චාරිකාවක නිරතවෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

TRCSL අනුමැතියක් නොමැති ජංගම දුරකථන භාවිතය වළක්වාලීමට නව ස්වයංක්‍රීය පද්ධතියක් හඳුන්වාදීමට පියවර

විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වළක්වාලීමට නව ස්වයංක්‍රීය පද්ධතියක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අනවසර ජංගම දුරකථන හේතුවෙන් මේ වන විට සමාජයේ පවතින අනීතික ක්‍රියා අවම කර රටේ ජංගම දුරකථන පාවිච්චි කරන ජනතාව ආරක්ෂා කිරීම මෙහි අරමුණ බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් සඳහන් කළේ.

ඉදිරියේදී නීත්‍යානුකූල ජංගම දුරකථන වෙළෙඳපොළ තුළ බහුලවීම තුළින් මිල ගණන් පහළ යෑමක් සිදුවීමට වැඩි ඉඩකඩක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොර කිසිදු ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙසයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

රියැදුරන් විභාග සඳහා සූදානම් වන නිසා අද දිනයේත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි

අද (18) දිනයේත් දුම්රිය ගමන් වාර 12 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියැදුරන් සූදානම් වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි පැවසෙන්නේ.

කෙටි ගමන් සේවා යටතේ කොළඹ කොටුවට පැමිණෙන දුම්රිය 06 ක් සහ කොටුව සිට ආරම්භ කිරීමට නියමිත දුම්රිය 06 ක් මෙලෙස අවලංගු කර තිබෙන බව සඳහන්.

කෙසේ වෙතත් අද රාජකාරී දිනයක් නොවන බැවින් සවස් කාලයේ දුම්රිය අවලංගු කිරීමක් සිදුනොවනු ඇති බවද සඳහන් වෙනවා.

දුම්රිය රියදුරු ⁣හිඟය හේතුවෙන් ඊයේ (17) දිනයේද දුම්රිය 25 ක් පමණ අවලංගු කිරීමට සිදුවුණ‍ා.

ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ සැකකරුවන් තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙන බවත්, නීතිපති උපදෙස් ලැබෙන තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මාඋස්සාකැලේ වතු නිවාස පෙලක ගින්නකින් නිවාස 08 ක් විනාශ වෙයි

මස්කෙළිය, මාඋස්සාකැලේ ප්‍රදේශයේ වතු නිවාස පෙලක ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ ඇති වූ ගින්නකින් නිවාස 08ක් ගිනිගෙන විනාශ වී ඇති බව මස්කෙළිය පොලීසිය පවසනවා.

මෙම ගින්නෙන් කිසිවෙකුටත් ජීවිත හානි හෝ තුවාල සිදුවී නොමැති බවයි සඳහන් වන්නේ.

මෙම වතු නිවාස පේළියෙහි නිවාස 12 ක් පැවති බවත්, වතු කම්කරුවන්, පොලිස් නිලධාරින් සහ මාඋස්‍සාකැලේ යුධ හමුදා කඳවුරේ භට පිරිස් එකතු වී එහි පැතිර යමින් තිබූ ගින්න පාලනය කිරීමට සමත් වූ බවයි වාර්තා වෙන්නේ.

ගින්නෙන් විනාශ වූ නිවාසවල පදිංචිකරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි සඳහන් වන්නේ.

විදුලි කාන්දුවක් නිසා ගින්න හටගන්නට ඇති බවයි මස්කෙළිය පොලීසිය සැක පහළ කරන්නේ.‍

විදුලි ගාස්තු අඩුවන ආකාරය ගැන දැනුම්දීමක්

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු 20% කින් අඩුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0-30 ත් අතර පාරිභෝගිකයින් සඳහා 29% ක අඩුවීමක් හා ඒකක 31-60 අතර කාණ්ඩයට 28% ක් දක්වා අඩු කර ඇති අතර එම කාණ්ඩවල මාසික ස්ථාවර ගාස්තුද පහත දමා ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම ඒකක 61-90 කාණ්ඩය සඳහා 19% ක අඩුවීමක්, ඒකක 91-180 කාණ්ඩය සඳහා 18% ක අඩුවීමක් හා 180 ට වැඩි කාණ්ඩය සඳහා 19% කින් විදුලි ගාස්තු අඩුවන බවයි සඳහන් වන්නේ.

පොදු කාර්ය සඳහා 12% ක විදුලි ගාස්තු අඩුවීමක් හා රාජ්‍ය ආයතන සඳහා 11% ක්, හෝටල් සඳහා 31% ක්, කර්මාන්ත සඳහා 30% ක්, ආගමික හා පුණ්‍යායතන සඳහා 21% ක්, වීථි ලාම්පු සඳහා 11% ක් ලෙස විදුලි ගාස්තු අඩුකර ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

678a2a3b67eacpdf_page_0 678a2a3296195pdf_page_0