ජනතාවට ආධාර ලෙස බෙදීමට ලැබුණු ආහාර කිලෝ ලක්ෂ 15 ක් කල් ඉකුත්වී තිබියදී සොයාගැනේ

ජනතාවට බෙදාහැරීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි ඇතුළු ආහාර කිලෝග්‍රෑම් ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

පසුගිය වසරේදී ලෝක ආහාර වැඩසටහන යටතේ කසකස්ථානය‍, ඕස්ට්‍රේලියාව ආදී රටවලින් මෙරටට ලබාදී තිබූ මෙම ආහාර තොගය දිළිඳු ජනතාවට සහ පාසල් ළමුන් හට නොමිලයේ බෙදාදීම සඳහා ගබඩා කර තිබී ඇති බවයි සඳහන් වෙන්නේ.

නිසි කලට බෙදාහැරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මේ වනවිට එම ආහාර තොගය කල් ඉකුත් වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉන්දීය අයවැයෙන් ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක් වෙන් කෙරේ

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300 ක මුදලක් වෙන් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර ඉන්දීය රුපියල් කෝටි 300 ක මුදලක් වෙන්කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉන්දීය රුපියල් කෝටි 20,516ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදලින් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483 ක් වෙන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

යෝෂිත රාජපක්ෂ ගිනිඅවි 7ම යළි ආරක්ෂක අමාත්‍යාංශයට භාරදෙයි

සිවිල්  පුද්ගලයින් සඳහා රජය නිකුත් කළ ගිනි අවි 180ක් සම්බන්ධයෙන් තොරතුරු ඒ පිළිබඳ සිදු කළ විගණනයට ඉදිරිපත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එලෙස ඉදිරිපත් නොකළ ගිනි අවි බලපත්‍රලාභීන්ට එරෙහිව තුවක්කු ආඥා පනතින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

එසේම යෝෂිත රාජපක්ෂ මහතා තමන් සතුව තිබූ ගිනිඅවි 7 ම යළි ආරක්ෂක අමාත්‍යාංශයට භාරදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලීන් හේරත් සඳහන් කළේ.

සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි රජය වෙත භාරගැනීමේ වැඩසටහන යටතේ, යෝෂිත රාජපක්ෂ මීට පෙර භාර දී තිබුණේ ගිනි අවි 5 ක් පමක් වන අතර පසුව අනෙතුත් දෙකද භාරදී තිබෙනවා.

නිදහස් උත්සවයේ ආරක්ෂාවට පොලිසියෙන් 1,650 ක්

නිදහස් දින සැමරුම් උත්සවයේ හා එහි පෙරහුරුවල ආරක්ෂාව සඳහා පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 1,650ක ප්‍රමාණයක් අනියුක්ත කර තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.

රථවාහන ගමනාගමනයට හා මගී ජනතාවට බාධා නොවන අයුරින් එම පෙරහුරු සහ ප්‍රධාන උත්සවය පැවැත්වීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව, නිදහස් දින සැමරුම් පෙරහුරුව වෙනුවෙන් කොළඹ නිදහස් චත්‍රරස්‍රය ආශ්‍රිතව අද උදෑසන 6.00 සිට දහවල් 12.00 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර, එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය විසින් ජනතාවට දැනුම් දෙනු ලබනවා.

කොටස් වෙළෙඳපොළ අගය ජනවාරියේදී 7%කින් ඉහළට

මෙම වසරේ ජනවාරි මාසය තුළදී 7.39% ක වර්ධනයක් ලඟා කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත් වී තිබෙනවා.

ඒ අනුව 2025 වසර ආරම්භයේ දී ඒකක 15,944.61 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය, ඊයේ (31) දිනයේ සියලු ගනුදෙනු අවසානයේ දී ඒකක 17,122.7 ක් දක්වා ඉහළ ගොස්, මෙතෙක් ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය ලෙස සටහන් වී තිබුණා.

එසේම, ඊයේ දිනයේ දී රු. බිලියන 5.15ක සමස්ත ගනුදෙනු පිරිවැටුමක් ද වාර්තා වී තිබෙන බවයි සඳහන් වන්නේ.

මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ලිංගික අතවර චෝදනාවක​ට අත්අඩංගුවට

කාන්තා පොලිස් නිලධාරිනියක් හට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත මැදිරිගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක් අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

සුපිරි ඩීසල් මිල ඉහළට

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව සුපිරි ඩීසල් මිල රුපියල් 18 කින් වැඩි කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 331 ක් ලෙසයි සඳහන් වෙන්නේ.

අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

679cde5d8f064

එයාලා එකතුවෙන්නෙ පරීක්ෂණ නවත්තන්න, දූෂිතයන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරනවා – ජනපති

රටේ දරුවන්ට යළි ගැටුම්කාරී රටක් නිර්මාණය කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ආරවුල් ඇති කර ගනිමින් රටක් ඉදිරියට ‌ගෙන යාමට නොහැකි බවත්, රටක් ඉදිරියට යන්නේ ජාතීන් අතර සමගියක් නිර්මාණය වුවහොත් පමණක් බවයි අද (31) යාපනය ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව වත්මන් ආණ්ඩුව ජනතාව අතර සමගිය නිර්මාණය කිරීමට විශාල වෙහෙසක් ගන්නා බවත්, ජනතාව අතර ජාතිවාදයක් නොමැති බව පසුගිය මැතිවරණවල ප්‍රතිඵලයන්ගෙන් තහවුරු වූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

හොරකම් කරන ලද පුද්ගලයින්ට දඬුවම් ලබාදිය යුතු බවත්, එලෙස හොරකම් කරන ලද පුද්ගලයින්ට දඬුවම් ලබාදෙන ආණ්ඩුව වන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

පසුගිය මැතිවරණයේදී විවිධ වේදිකාවල සිටි පිරිස් මේ වන විට එක්වීම සඳහා සාකච්ඡා පවත්වන බවත්, ඔවුන් එක්වීමට කටයුතු කළද ජනතාව සහ වත්මන් ආණ්ඩුව එකට සිටිනතාක් ඔවුන්ට එය සිදුකළ නොහැකි බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඔවුන් එකතු වී උත්සාහ කරන්නේ සිදුවන පරීක්ෂණ නැවැත්වීමට හා දඬුවම් ලබාදීම වැළැක්වීමට බවත්, උඩින් ඔවුන් එකතු වුවද ජනතාව එකතු වී සිටින්නේ වත්මන් ආණ්ඩුව සමඟ නිසා දූෂිතයින්ට දඬුවම් ලබාදීම අනිවාර්යයෙන් සිදු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලබාදීමට 1997 කෙටි දුරකථන අංකය පොලීසිය විසින් හඳුන්වාදෙයි

අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව පොලීසිය දැනුවත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ කෙටි දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව තොරතුරු ලබා දෙන්නාට තමන්ගේ අනන්‍යතාවට ප්‍රකාශ කිරීමකින් තොරව පොලීසිය වෙත තොරතුරු ලබා දිය හැකි බවත්, ඒ සඳහා 1997 කෙටි දුරකථන අංකය හඳුන්වා දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

පොලීසිය වෙත ලබා දෙන තොරතුරු නැවත එම අපරාධකරුවන් සහ නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන්නන් වෙත ලැබෙන බවට මහජනතාව තුළ ඇතිව තිබෙන සැකය මත මෙම දුරකථන අංකය හඳුන්වා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

679cbbf6dd8aapdf_page_0

මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ජංගම දුරකථනය රස පරීක්ෂකට

අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනිගේ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර තිබෙනවා.

ඒ මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

සැකකරු භාරයේ තිබී සොයාගත් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇති අතර ඒ සඳහා අවසර ලබාදෙමින් අදාළ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග කර තිබෙනවා.

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.