සති අන්තය වෙනුවෙන් ‍හෙට සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමය හේතුවෙන් හෙට (28) සිට ලබන 31 වැනිදා දක්වා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ සිට බදුල්ල, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දක්වා මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

හිටපු හමුදාපතිවරුන්ට එරෙහිව පැනවූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්

බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම හමුදා ප්‍රධානීන්ට අදාළ චෝදනා කොතැනකවත් ඔප්පු කර නැති බවත්, එවකට ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ තමන් විසින් එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළ බවත්, ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කළ බවයි ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

යුද්ධය අතරතුරදී මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු වූ බවට බ්‍රිතාන්‍ය රජය විසින් කරන චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර සිටිනවා.

දශක තුනක එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන් 27,965 දෙනෙකුගේ ජීවිත ද, දේශපාලන නායකයන් ඇතුළු සිවිල් වැසියන් දහස් ගණනකගේ ද ජීවිත අහිමි වූ බවත්, 2009 දී ශ්‍රී ලංකාව පරාජය කළේ එක්සත් ජනපදයේ FBI ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට 2008දී නිල වශයෙන් නම් කරන ලද සංවිධානය බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අවසන් යුද්ධයේ ක්‍රියාකළ යුධ හමුදාපතිවරයා 2010 ජනාධිපතිවරණයේදී උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රකාශිත ඡන්දවලින් 60% කට වඩා දිනා ගත් බව ද, බ්‍රිතාන්‍ය රජය ප්‍රවර්ධනය කරමින් සිටින මතය එයින් නිෂ්ප්‍රභා වන බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින්, විදේශීය රජයයන් සහ සංවිධානවලින් එල්ලවෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව ඍජුව පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්

news images

news images

Starlink බ්‍රෝඩ්බෑන්ඩ් සේවා අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකයි – නලින්ද ජයතිස්ස

Starlink චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව 2025 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව, මෙම අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලාංකිකයින්ට Starlink බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවට ප්‍රවේශ විය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙහිදී අන්තර්ජාල පරිශීලකයින් හට සපයනු ලබන සේවාවේ ගුණාත්මකභාවය සහතික කිරීමට මෙන්ම, ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළු විසඳීමටද රජය පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ප්‍රාදේශීය සභා තුනක නාම යෝජනා භාර ගැනීම අනිද්දා අවසන් වෙයි

පූනාකරි, මන්නාරම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවන් සඳහා නාම යෝජනා භාර ගැනීම සම්බන්ධව මැතිවරණ කොමිසම දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රාදේශීය සභාවලට අයත් පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පතු භාර ගැනීම හෙට (26) දින මධ්‍යහ්න 12.00ට අවසන් වීමට නියමිතයි.

එසේම 27 වැනි දින දහවල් 12.00 දක්වා ඒ ඒ දිස්ත්‍රික්කයන් හි තේරිම්භාර නිලධාරීන් විසින් නාමයෝජනා භාර ගන්නා බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

පාතාල කල්ලි අතර ගැටුමක් සිදුවෙන්නේ, ඒකෙන් ජාතික ආරක්ෂාවට මහ බලපෑමක් නෑ – ආරක්ෂක නියෝජ්‍ය ඇමති

දිවයින පුරා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.

ජනතාවගේ ආරක්ෂාව රජය විසින් සහතික කර ඇති බවයි අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වන විට සිදුවෙමින් ඇත්තේ පාතාල කල්ලි අතර ගැටුමක් බවද, එමගින් ජාතික ආරක්ෂාවට මහ බලපෑමක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

මහජන ආරක්ෂක අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු සිදු කරමින් ඇති බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ලිංගික අපයෝජන චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 15ක සිර දඬුවම්

නව හැවිරිදි බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 75000/- ක දඩ මුදලක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත්, අමතරව වසරක ලිහිල් සිර දඬුවම් නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම විත්තිකරු විසින් අතවරයට පත් දැරියට ලක්ෂ තුනක වන්දියක් ගෙවිය යුතු බවට නියෝග කළ අතර, එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසරක ලිහිල් සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

2011 වසරේ සිදුවූ මෙම සිදුවීමට අදාළව 59 හැවිරිදි වියේ පසු වන ජංගම එළවළු වෙළෙන්දෙකුට මෙම දඬුවම් නියම කර තිබෙන බවයි සඳහන් වන්නේ.

රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් රජය ලබාදුන් පොරොන්දු කඩවූ පොරොන්දු බවට පත්වෙලා – අන්තරේ

වත්මන් රජය අධ්‍යපනය සහ රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු කඩවූ පොරොන්දු බවට පත්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව සහ රැකියා විරහිත උපාධිධාරීන් අයාලේ යාම නවත්වා ඔවුන්ට රැකියාවක් ලබාදීමට ආණ්ඩුව කඩිනමින් මැදිහත්විය යුතු බවයි එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සඳහන් කළේ.

බලයට පත් කරගත් නව රජය මිනිසුන් වෙනුවෙන් දේවල් සිතාබලා ලබාදෙනු ඇති බවට අතපය හතර බැඳගෙන බලා නොසිට සැබෑ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් මහ පාරට බැසිය යුතු බවත් එම අරගලය වෙනුවෙන් සංවිධානය විය යුතු අතර එම අරගලයේ තීරණාත්මක ඕනෑම අවස්ථාවක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය සිට ගැනීමට සූදානම් බවද ඔහු සඳහන් කළා.

රැකියාවක් කිරීම යනු මිනිසෙකුගේ අයිතියක් බවත් එය ආණ්ඩුවක් මැදිහත්වී ලබාදිය යුතු බවයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් වැඩිදුරටත් සඳහන් කළා.

මෙරට පළමු වරට රජයේ රෝහලක ශුක්‍ර ධාතු බැංකුවක් ස්ථාපිත කෙරේ

මෙරට රජයේ රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව බොරැල්ල කාසල් රෝහලේ ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව මඳසරුභාවය හේතුවෙන් දරු ඵල නොමැතිව පීඩා විඳින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම අරමුණු කර ගනිමින් මෙය ආරම්භ කර තිබෙනවා.

ශුක්‍ර ධාතු ලබා දීම සඳහා මෙහි පැමිණෙන පුද්ගලයින් පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටිය යුතු අතර අදාළ පරීක්ෂණ සමත්වීමෙන් අනතුරුව යළිත් මාස 3 කට පසු එම පරීක්ෂණවලටම ලක් කිරීමෙන් අනතුරුව සුදුසු පියවරුන්ගේ ශුක්‍ර ධාතු ලබා ගන්නා බවයි කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කළේ.

මෙය ඉතාමත් රහසිගතව සිදුවන ක්‍රියාවලියක් බවත් පුද්ගලිකත්වයද ආරක්ෂා කරන බවයි වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කළා.

මේ සඳහා සම්බන්ධවීමට කැමති පුද්ගලයින්ට 0112678999 හා 0112672216 යන දුරකථන අංක හරහා කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු ධාතු බැංකුව සමග සම්බන්ධ විය හැකි බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Facebook සාදයක් වටලා 76 දෙනෙක් අත්අඩංගුවට ගනී

Facebook සාදයක් වටලා තරුණියන් 15 දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඒ අනුව සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලානවත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට්ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18 ත් 25 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වැලිගම නිවසකින් පතුරම් තොගයක් සොයාගනී

වැලිගම, කොක්මාදූව ප්‍රදේශයේ නිවසක් තුළ තිබූ පතුරම් තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ පුෂ්පාරාම උපකඳවුරේ නිලධාරින් සිදුකළ වැටලීමකදී, එම් 16 වර්ගයේ පතුරම් 6ක්, ටී 56 වර්ගයේ පතුරම් 60ක් සහ ටී 56 හිස් පුහුණු පතුරම් 9ක් සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම නිවසේ හිමිකරු, විදේශගතව සිට සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයෙකුගේ සමීපතමයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.