රට වටා ජල ගැලීම් හා විපත් – තොරතුරු යාවත්කාලීන වෙමින් පවතී

අයහපත් කාලගුණය හා හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් දකුණු පළාතේ පාසල් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදාවී ඇත්නම් ඒවා වසා දැමීමට ක්‍රියා කිරීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදී ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා පවසයි.

ඒ ඒ අධ්‍යාපන කලාපවල තත්ත්වයන් කෙරෙහි සැලකිල්ල දක්වා ගත යුතු ක්‍රියා මාර්ග ඔවුන් විසින් ගනු ඇති බව පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

පෙ.ව 06.47 – ගිං ගඟ පිටාර ගැලීමත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, තවලම, නාගොඩ, වැලිවිටිය, දිවිතුර යන ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබේ. නිල්වලා ගඟ අවට පහත්බිම් වල සිටින ජනයා අවධානයෙන් සිටිය යුතු බවත්, කොක්දූව,මාලිම්බඩ, අකුරැස්ස,පිටබැද්දර, ඌරාව,පානදුගම ප්‍රදේශවල ජනයා ඉවත්විය යුතුව ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නිවේදනය කර ඇත.  කැලණි ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති අතර කඩුවෙල, කොටිකාවත්ත, කැලණිය, කැලණි මුල්ල, කොළොන්නාව, දොම්පෙ, හංවැල්ල, පාදුක්ක ,අවිස්සාවේල්ල ජනයා අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දීම.

(පෙ.ව 8.09) සබරගමු පළාතේ සියලුම පාසල් වසා දැමීමට තීරණය කර ඇත.

(පෙ.ව. 08.15) අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනයා මුදව‍ා ගැනීමට හා ඔවුන්ට සහයවීමට ත්‍රිවිධ හමුදා භට පිරිස් යොදවා තිබේ. නෙළුව, මොරවක, කඹුරුපිටිය යන ප්‍රදේශවලට ඩිංගි බෝට්ටු 04ක් යොදවා ඇති අතර මාතර දිස්ත්‍රික්කය සඳහා ඩිංගි බෝට්ටුවක් ද කළුතර, කලවාන ප්‍රදේශය සඳහා ඩිංගි බෝට්ටු 02ක් ද යොදවා ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
ගුවන් හමුදාව විසින්  සහන සැලසීම සඳහා බෙල් 212 සහ එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා ඇත.

(පෙ.ව 8.42) බෙලිඅත්ත-කහවත්ත ප්‍ර දේශයේ ජල පහරකට හසුවීමෙන් පුද්ගලයෙකු අතුරුදහන් වී තිබේ.

ශෂී වීරවංශගේ ජාතික හැඳුනුම්පත සෙවීමට නීතිපතිගෙන් නියෝගයක්

ශෂී වීරවංශ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත අධිකරණ බාරයේ තිබියදී අස්ථානගතවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ කරුණූ දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරිස් මහතා එම ඉල්ලීම කළ බව වාර්තා වී ඇත.
කූට ලේඛන ඉදිරිපත් කළ අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය සතුව තිබූ විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත කොළඹ ප්‍රධාන මාහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය බාරදී තිබූ බව සඳහන්ය.

බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා මැයි 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්  D.A.රුවන්පතිරණ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා රහස් පොලීසිය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසා සිටී.

පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා රහස් පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

2013 වසරේ අගෝස්තු මස පළමුවනදා වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ මෙම උද්ඝෝෂණයට වෙඩි තැබීමේ සිද්ධියෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මියගිය අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.

පුංචි හදවත් මරුවාගෙන් බේරගන්න Little Hearts පෙරට එයි

සටහන – පාලිත අබේලාල්palithaabelal@gmail.com

Little Hearts (පුංචි හදවත්) කියන්නෙ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද රෝග ඒකකය සඳහා අංග සම්පූර්ණ දැඩිසත්කාර ඒකක සංකීර්ණයක් සහිතව මහල් දහයකින් යුතු ගොඩනැගිල්ලක් ඉදි කිරීමට අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීම සඳහා දියත් කළ දැවැන්ත ව්‍යාපෘතියක්.  ඒ සද් කාර්යය සඳහා මුල් ගල් තැබීම පසුගියදා සිදුවුණා. රටක් වටින මේ ආරංචිය ගැන තවත් ටිකක් විපරම් කරමින් ගිය බොස්ටන් ලංකා අපි නතර වුණේ ළමා හෘදරෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා ඉදිරිපිට.

මෙවැනි දැඩිසත්කාර ඒකක සංකීර්ණයක් අවශ්‍ය වන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන්ගෙන් 3000ක් පමණ දෙනා හෘදාශ්‍රිත රෝග වලට ගොදුරුවෙනව. ඒ අතරින් 2500 දෙනෙකුට විතර ප්‍රතිකර්ම අවශ්‍ය වෙනවා. නමුත් දැනට අප හෘද රෝග ඒකකයේ පවතින් පහසුකම් අනූව කළ හැකිව ඇත්තේ වසරකට විවෘත්ත හදවත් සැත්කම් 1000ක් සහ කැතීටර්කරණ මගින් කරන ප්‍රතිකර්ම 700ක් පමණයි. එකම දරුවෙකුට සැත්කම් කිහිපයක් කිරීමට අවශ්‍ය වීමත්, ඇතැම් සැත්කම් සඳහා දීර්ඝ කාල වේලාවක් ගතවීමත් යන කරුණු නිසා වසරකට අවම වශයෙන් විවෘත්ත හදවත් සැත්කම් 2000ක් සහ කැතීටර් මගින් කරන ප්‍රතිකර්ම 1000ක් අප විසින් කළ යුතුයි. මෙම නව ශල්‍ය හා දැඩිසත්කාර සංකීර්ණය මගින් එම ඉලක්කයට ළඟා විය හැකියි.

දැනට රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ ප්‍රතිකාරයන් සිදුකරන්නේ කොහොමද?

මෙම මට්මමේ රෝහලක, මුළු ඇඳන් ගණනට සාපේක්ෂව අවම වශයෙන් 10-30% අතර ප්‍රමාණයකවත් ඇඳන් ප්‍රමාණයක් දැඩිසත්කාර ඒකකයේ තිබිය යුතුයි. නමුතු අප ළමා රෝහලේ මුළු ඇඳන් ප්‍රමාණය 900ට වැඩි ගණනක් වුණත් දැඩිසත්කාර එක්කයේ තිබෙන්නේ ඉන් 1-2% ඇඳන් ප්‍රමාණයක් පමණි. මෙම ඇඳන් ගණන කොහෙත්ම ප්‍රමාණවත් නොවෙන නිසා දැඩිසත්කාර ප්‍රතිකාර අවශ්‍ය  රෝගී දරුවන්ගෙන් 60%ක් ම එම ඒකකයෙන් හරවා යැවීමට සිදු වෙනවා. ඒ හේතුව නිසා ම ජීවිත අවධානමක් ඇති අසාධ්‍ය තත්වයේ පසුවන දරුවන්ව පවා සාමාන්‍ය වාට්ටුවල තබා ප්‍රතිකාර කිරීමට සිදුවී තිබෙනවා.අපගේ ගණන් බැලීමට අනුව නම්,ළමයින් 1000 – 1500 අතර පිරිසක්, ප්‍රතිකාර ලැබීමේ පහසුකම් නොමැති නිසාම, හෘද රෝග සහ වෙනත් අසාධ්‍ය රෝග තත්ත්ව හේතුවෙන් මිය යනවා.අලුතින් දැඩිසත්කාර සංකීර්ණයක් ගොඩනැගීමෙන් මෙවන් හේතු නිසා මිය යන බොහෝ ළමුන් බේරා ගැනීමට හැකියාව ලැබෙනවා.ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) කල ගණන් බැලීමට අනුව රුපියල් මිලියන දෙදහසක පමණ මුදලක් මේ කාර්යය සදහා වැයවෙනවා.

අරමුදල් රැස්කිරීමේ සැලසුම මොනවාද?

ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වන්නේ, විශාල සංඛ්‍යාවක් ලාංකිකයින්ගෙන් කුඩා මුදල් ප්‍රමාණ එකතු කරගැනීම. නමුත්, විශාල පරිත්‍යාගත් සතුටින් භාරගන්නවා. ඒ සඳහා ලංකා බැංකුවේ බොරැල්ල ශාඛාවේ79738633 යටතේ ගිණුමක් ආරම්භ කරලා තියෙනවා. මීට අමතරව අපගේ වෙබ් අඩවිය වනwww.littlehearts.lkමඟින්ද මේ ව්‍යාපෘතියට ඔබට හැකි ආකාරයෙන් මුදල් තැන්පත් කිරීමෙන් මේ උත්තරීතර කාර්යය සමඟ සම්බන්ධ වීමේ හැකියාව ලැබී තියෙනවා.අප යෝජනා කරනවා ජාතික වගකීමක් ඇති කර්තව්‍යයක් හැටියට ‘Little Hearts – බිළිඳු හදවත්’ ව්‍යාපෘතිය සියලු සමාගම් විසින් තම ආයතනික සමාජ වගකීමට අනුකුල ව්‍යාපාරය ලෙස 2017දී තෝරාගෙන මෙම ජීවිත බේරාගැනීමට කටයුතු කරන්න කියලා.

අරමුදල් රැස්කිරීමේ පටන් ගොඩනැගිල්ල ඉදිවනතුරු පටිපාටිය මොන වගේද?

ලංකාවේ ළමා සෞඛ්‍යය පිළිබඳ ප්‍රධාන ආයතනය ශ්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය. මෙහි සාමාජිකයන් ළමා රෝග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වෙන නිසාSLCP ප්‍රමඛත්වය ගෙන මෙම අරමුදල් රැස්කිරීම සිදුකරන අතර,තවත් ආයතන කිහිපයක් සහ පුද්ගලයින් කිහිප දෙනෙක් ඔවුන් හා අත්වැල් බැඳගෙන මෙම කර්තව්‍යයේ නියැලෙනව. මෙහි ගණකාධිකරණ කටයුතු සිදුකරන්නේ ලොව ප්‍රචලිත KPMGසමාගමයි. මෙහි රැස්වන සියලු මුදල් යොමු කරන්නෙජාතික සෞඛ්‍ය වර්ධන අරමුදලට (NHDF). ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය පහසුකම් NHDF විසින් සලසා දෙන අතර, එහි සැලසුම්, නිර්මාණය, වියදම් ගණනය, යනාදී සියලු වගකීම් CECB සතු වෙනව. මෙම පුර්ණ ක්‍රියාදාමයම SLCP අධීක්ෂණය යටතේ, පූර්ණ විනිවිදභාවයකින් සිදු වෙන්නෙ.

මෙම කාර්යයට මෙතෙක් ලැබුණු සහය ගැන තෘප්තිමත්ද?

100% ම ඔව්. අප සිතුවාට වඩා දහස් ගුණයකින් අපට බොහෝ දෙනෙකුගෙන් සහයෝගය ලැබුන.මාධ්‍ය මගින් ලැබුණු සහය සිහිපත් කලයුතුමයි. ඒ නිසා මහජනතාව දැනුවත් කරලීමට වගේම ඒ අයගේ සහය ලබාගැනීමටත් හැකිවුනා. මේ ගැන අපිත් එක්ක කතාකළ සියල්ලන්ම, ස්වේච්ඡාවෙන් ඔවුන්ගේ සහය ලබාදුන්නා. අපේ කැට පෙරහැර මේකට හොඳ උදාහරණයක්. අප ඒක සැලසුම් කළේ උදේ 8 සිට සවස 4වනතුරු පවත්වන්න. නමුත් දූ දරුවන් හා වැඩිහිටියන් බෙහෝ දෙනෙක් උදේ 7 සිට සවස 6 වනතුරු  නොනවත්වාම අපට කැට ගෙනාවා. මේක ආරම්භය පමණයි. අපේ අත්දැකීමුත් එක් කරගෙන අපට නොකඩවා මේ දේ කරගෙන යන්න පුළුවන් වුණොත්, අපට මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න පුළුවන් වෙයි.

ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය කොහොමද?

අතිගරු ජනාධිපති තුමා විසින් මෙහි මූලික වැ කටයුතු සඳාහා රු. මිලියන 300 ක මුදලක් අපිට ලබාදුන්නා. ඒ වගේම ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිකිරීම් කටයුතු සඳහා සහයෝගය ලබාදෙනව. අප්‍රේමාසය ආරම්භ වනවිට අපට සියළුම දෙනාගේ සහභාගීත්වයෙන් පළමු මිලියන 100 සම්පූර්ණ කිරීමට හැකිවුනා. මේ ශක්තියත් එක්ක අපි මේ මාසේ මුල් සතියේම මුල් ගල් තබමින් ඉදිකිරීම් කටයුතු ආරම්භකලා.

මේ ව්‍යාපෘතියට මම දායක විය යුත්තේ ඇයි?

ඔබගේ දරුවකු රෝගාතුර වූවොත්, එම දරුවාට දැඩි සත්කාර ඒකකයේ ඇඳක් ලැබීමේ ප්‍රතිශතය 30%ක් පමණයි. එම දරුවාට හදවතේ සිදුරක් යැයි රෝග නිශ්චය වූවොත් නිසි වෙලාව තුළ දී ශල්‍යකර්මය සිදුවීමේ ප්‍රතිශතය 50%. ළමයාට නිසි කළ ප්‍රතිකාර නොලැබීමේ හෝ ජීවිත අවදානමක් ඇතිවීමේ 50-70% අතර සම්භාවිතාවක් තියෙනවා. ඒ ඔබේ දරුවා පමණක් නොවෙයි, ඥාති දරුවෙක්, සේවකයකුගේ දරුවෙක්, මේ කවරෙක් වුව ද විය හැකියි. ඒ එම දරුවාගේ ජීවිතය බේරාගැනීම අපේ වගකීමක්.

මෙතන ප්‍රශ්නය ඉතාම සරලයි. අනාගත දරුපරපුර වෙනුවෙන් මේ ව්‍යාපෘතිය සාර්ථක විය යුතුද? ඔව් නම්,ඔබත් දායක වන්න.

සියළුම විමසීම් සඳහා

දුරකථන – +94112683178/ +94115300700

ජංගම – +94716441122

ෆැක්ස් – +94112684625

ඊ මේල් – info@littleheart.lk

“අහක බලන්න එපා, ඔබත් මැදිහත් වෙන්න”

පොදු මගී ප්‍රවාහන සේවා තුළ කාන්තාවන්ට එල්ල වන ලිංගික හිංසනයට එරෙහිව නැගී සිටින මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉල්ලා සිටී.

මගී ප්‍රවාහන සේවා තුළ ලිංගික හිංසනය වැළැක්වීමේ “අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න” ස්ටිකරය දියත් කිරීමේ වැඩසටහන සිදු වූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙනි.

“අපි ගොඩක් වෙලාවට දැකලා නැහැ එවැනි අවස්ථාවල කාන්තාවන් අනෙක් අතට කතා කරනවා. මොකද ඔවුන් බයයි තමන්ගේ චරිතය ඝාතනය වෙයි කියලා,” යනුවෙන් ඊට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළාය.

“හැබැයි කාන්තාවන්ට ගරු කරන පුරවැසියන් විදියට පුරුෂයන්ට කෙලින්ම මේකට මැදිහත් වෙන්න පුළුවන්.”

“තමන්ගේ ශරීරය අයිති තමන්ට” බව පවසන මන්ත්‍රීවරිය කාන්තාවන්ට එල්ල වන ලිංගික හිංසනය වැළැක්වීම සඳහා කාන්තා සහ පුරුෂ යන දෙපාර්ශවයම දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්නීය.

ඒ අතරවාරයේම ලිංගික හිංසනය සම්බන්ධයෙන් රටේ පවත්නා නීති දැඩි කිරීමේ අවශ්‍යතාවය ඇය අවධාරණය කරන්නීය.

ලංගමට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් මහින්දට එරෙහි නඩුව 26ට කල් යයි

පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු සඳහා ලබාගත් බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙවිය යුතු  රුපියල් මිලියන 142ක මුදලක් නොගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුව ලබන 26 වනදා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණය නියම කර තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලය විසින් එම නඩුව ගොනුකර ඇති බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබු සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහ අනුර ප්‍රියදර්ශන මහතාගේ නම් ඉවත්  කරමින්  පැමිණිල්ල ඉදිරිපත් කර සංශෝධිත පැමිණිල්ලට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා සහ සෙසු විත්තිකරුවන් තිදෙනෙකු අධිකරණයට මූලික විරෝධතාවක් ගොනු කර තිබේ.

ඊට විරෝධතා ගොනු කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවසන් වරට දින ලබා දෙමින් එම නඩුව ලබන 26 වනදා කැඳවීමට අධිකරණය නියෝග කළේය.

ළග තියන වාහන ගැන වාර්තාවක් දෙනතුරු නව වාහාන ගෙන්වීම තහනම්

රජයේ අමාත්‍යවරුන්ට වාහන ගැනීමට ඉදිරිපත්  කරන පරිපූරක ඇස්තමේන්තු අනුමත කළ නොහැකි බව මුදල් කාරක සභාව විසින් කථානායක, කරූ ජයසූරිය මහතාට දන්වා තිබේ.

රජයේ ඇමතිවරුන් මේවන විට භාවිතා කරනු ලබන වාහන පිළිබඳ වාර්තාවක් ලබාදෙනතුරු අමාත්‍යවරුන්ට නව වාහන මිලදී ගැනීම නතර කරන ලෙස රාජ්‍ය මුදල් කාරක සභාව විසින් අයවැය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි සභාපති එම්.ඒ සුමන්දිරන් මහතා විසින් කථානායකවරයාට දන්වා ඇත.

පරිපූරක ඇස්තමේන්තු දෙකක් මගින් ඇමතිවරුන් පිරිසකට වාහන ලබාගැනීමට පසුගියදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ අතර රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මෙලෙස එය තාවකාලිකව අත්හිටුවා ඇති බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

2015 ජනවාරි මාසයේ සිට ඇමතිවරුන් ලබාගෙන ඇති වාහන හා ඒවායේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස අයවැය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට දැනුම්දී ඇති බව මෙහිදී තහවුරු වී තිබේ.

රවී අත් හැරීමේ ගුණය පුරුදු කර නැහැ..මුදල් අමාත්‍යංශෙ කෑලිත් ගලෝගෙනම යන්න ගිහින්- බන්දුල ගුණවර්ධන

මෙරට ඉතිහාසයේ පළමුවරට විදේශ කටයුතු අමාත්‍යාංශයට අයත්ව නොතිබුණු ලොතරැයි මණ්ලය, මහපොළ හා එයාර් ලංකා වැනි ආයතන නව අමාත්‍යවරයාගේ පත්වීමත් සමඟ එම අමාත්‍යාංශය වෙත බාර දී ඇති බවට තොරතුරු අනාවරණය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (23) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය.
රවී කරුණානායක මහතා අත්හැරීමේ ගුණය පුරුදුව නොමැති බවත් රට වෙනුවෙන් අමාත්‍ය ධූර වෙනස් කරන අවස්ථාවක තම පෞද්ගලික අවශ්‍යතාවය මත ඔහුට ප්‍රතිලාභ හිමි වෙන ආයතන තමා වෙත නතු කර ගැනීමට කටයුතු කරන බවටත් බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කර සිටියේ ය.
කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ විධායක ජනාධිපති ධූරයේ ප්‍රතිරූපය බිඳවැටෙන බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

ජාති වාදයට හා ආගම් වාදයට කිසි විටෙකත් ඉඩක් නෑ

ජාතිවාදයට හා ආගම්වාදයට කිසි විටෙකත් ඉඩ නොදෙන ලෙසත් යමෙක් ඒ සම්බන්ධයෙන් නීති රීති කඩ කඩ කරන්නේ නම් වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පොලීසියට යුතු කමක් හා වගකීමක් ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද (23) දින අරලියගහ මන්දිරයේ, ජාතික තරුණ සේවා සභාවේ සාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කළ තරුණ තරුණියන් ඇගයීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කුමන ජාතියක් ආගමක් වුවත් රටේ නීති උල්ලංඝණය කිරීමට හැකියාවක් නොමැති බවයි.
මෙහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“රාජපක්ෂ සමයේ ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය අප රටට අහිමි වුණා. එහි වාසිය බංගලාදේශය විසින් අත්පත් කර ගත්තා. දැන් අපට නැවතත් ජී.එස්.පී. ප්ලස් සහනය ලැබී තිබෙනවා. එයින් ප්‍රයෝජන ගෙන ව්‍යාපාර ඇති කර සීඝ්‍ර දියුණුවකට ගමන් කළ යුතුයි. ඒ දියුණුවේ පදනම කුමක්ද? දේශපාලන දියුණුව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමගියයි. කවුරුන් හෝ මේ සමගිය කඩන්නට හදනවා නම් ඊට එරෙහි විය යුතුයි.
බෙදුම්වාදය ඉස්මතු කිරීමට උත්සාහ කර එය අසාර්ථක වූ පසුව ඇතැම් කල්ලි කණ්ඩායම් ආගම්වාදය ඉදිරියට ගෙන රට අස්ථාවර කිරීමට උත්සාහ කරනවා. එමෙන්ම ජාතිවාදය අදින්නට උත්සාහ කරනවා. එවැනි දේට ඉඩදෙන්නට හැකියාවක් නැහැ. අප සියලූදෙනා එක්ව එවැනි ක්‍රියාදාමයන් හෙළා දැකිය යුතුයි.
ශ්‍රී ලාංකිකයන් බෙදන්නට ඉඩදෙන්න බැහැ. ආගම යනු සියලූ දෙනා එක්කරන සංකල්පයක්. ජනතාව අතර බෙදීම් ඇති කරන සංකල්පයක් නොවේ. ආගම්වාදය, ජාතිවාදය ඇති කරන්නට සමහරුන් උත්සාහ කරනවා නම් එය වහාම නතර කළ යුතුයි. ඒ ව්‍යායාමය සඳහා අත්වැල් බැදගැනීමට සියලූදෙනාටම යුතුකමක් තිබෙනවා. සාමය ආරක්ෂා කිරීමට සැමට වගකීමක් තිබෙනවා.“

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය සහ ත්‍රස්තවාදය

ආගමික, දේශපාලනික, හෝ යම් මතවාදී අරමුණක් වෙනුවෙන් බිය නිර්මාණය කිරීමේ කලාව

ත්‍රස්තවාදය යනු ආගමික, දේශපාලනික, හෝ යම් මතවාදී අරමුණක් වෙනුවෙන් බිය නිර්මාණය කිරීමේ මාධ්‍යයක් ලෙස වගවිභාගයකින් තොරව ප්‍රචණ්ඩත්වය පැතිරවීම යැයි හැදින්විය හැකිය.

එම අර්ථයෙන් හා අප දන්නා ප්‍රසිද්ධ අර්ථයෙන් ත්‍රස්තවාදී සංවිධාන යනු මෙලොව පැවැත්මට අහිතකර බලපෑම් එල්ල කරන සංවිධාන විශේෂයක් බව සමස්ත ලෝක වාසීන්ගේ පිළිගැනීමයි. ඔවුන්ගේ ක්‍රියාදාමයන් හේතුවෙන් අද වන විට විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වී ඇත. නමුත් ත්‍රස්තවාදය පසුපස සෑම විටම තිබෙන්නේ පවත්නා සමාජ ක්‍රමයේ අර්බුදයි. ත්‍රස්තවාදය යනු නිර්ධනයාගේ න්‍යෂ්ඨික බෝම්බය වේ කියා ජොන්-පෝල් සාත්‍ර පැවසුවේ එම නිසාය. ත්‍රස්තවාදය සෑම විටම ඉලක්ක කරන්නේ පවත්නා පාලකයන් හට සමාජය සුමට ලෙස පාලනය කිරීමේ හැකියාව බිඳ දැමීමයි. ඔවුන් ඒ සදහා තම ක්‍රමවේදය හැටියට භාවිතා කරන්නේ යුදමය ක්‍රියාවලියකි. නමුත් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාදාමය දෙස වඩා සුපරික්ෂාකාරීව බැලූ විට වඩා අහිතකර බලපෑම එල්ල වන්නේ ලෝක වාසීන්ට වඩා දේශපාලන නායකයන්ට යි.

මෙරට තිස් වසරක යුද්ධය තුළ රජයට දේශපාලනික වශයෙන් ඉතාම බලපෑම් සහගත සංවිධානය වූයේ එල්ටීටීයී සංවිධානය යි. රජයට නිදහසේ හැසිරිය හැකි තත්වය සීමා කිරීම ඔවුන් අතින් සිදු විය.  ආහ්ලාදජනක අත්දැකීමක් ලෙස කියන්නේ නම් 2009 යුද්ධය අවසන් වීමෙන් පසුව පසුගිය රජයේ නිදහසේ හැසිරිමේ සීමාව එය තවදුරටත් තහවුරු කරයි. තවත් ආකාරයට කියන්නේ නම් ඔවුන් ඍජුව මෙරට මිනිසුන්ට වඩා නැති නම් දෙමළ ජනතාවට වඩා මෙරට පාලකයන් වෙත ඔවුන්ගේ අරගලය දියත් කර තිබුණි. පාලකයන් යනු ජනතා නියෝජිතයන් වන අතර ඔවුන්ට එල්ල කරන ප්‍රහාරය ජනතාවට එල්ල කරන ප්‍රහාරයට සමාන යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් අද දවසේ ජනතා නියෝජනය හා ජනතාව අතර ඇති දුරස්ථභාවය නැතිනම් දේශපාලඥයනගේ ක්‍රියාදාමයන් සහ ජනතා සිතුම් පැතුම් අතර පවතින නොගැලපීම එම තර්කයේ ප්‍රබලතාව තුනී කරවයි.

ඒ අතර අප විදේශීය ත්‍රස්ත සංවිධාන දෙස ද අවධානය යොමු කිරීමේ දී මෙම තත්වයෙහි බරපතල වෙනස් කම් නැත. මෙයින් අප කියන්නට උත්සහ කරන්නේ ත්‍රස්ත කණ්ඩායම් ලෝකයේ යහපැවැත්මට අවශ්‍ය බව හෝ ඔවුන් ඉතා යහපත් මනුෂ්‍ය කොට්ඨාශයක් බව නොවෙයි. නමුත් එක්තරා අර්ථයකින් ඔවුන් අත්තනෝමතික ආඥාදායක දේශපාලනයට පැවතිය හැකි ඉඩ කඩ සීමා කරන දැනට ලෝකයේ පවතින බලපෑම් සහගත ම දේශපාලන මාදිළිය යැයි කිව හැකි නොවේද ?

මෙම ලිපිය මගින් අප උත්සහ කරන්නේ අද දවසේ ලොව භායානක ම, බලසම්පන්න ම හා ගෝලීය දේශපාලනය වෙත දිශානත වූ ත්‍රස්තවාදී කණ්ඩායම් හා ඇමරිකාව අතර පවතින සම්බන්ධය විදාරණය කිරීමටයි.

අයිඑස්අයිඑස් සංවිධානය එක පොදු ආගමික අරමුණක් වෙනුවෙන් කටයුතු කරයි. ඉරාකය හා සිරියාව තුළ ඔවුන්ගේ සටන් මෙහෙය වන්නේ ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණිනි. මෝසුල් නගරය අත්පත් කර ගැනීම, ඇලැප්පෝ අත් පත් කර ගැනීම හා ඒවා අහිමි වීම හරහා ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණේ එම ආගමික අන්තවාදය මැදපෙරදිග ප්‍රධාන රාජ්‍යයන් හි ස්ථාපිත කිරීමටය. තලෙයිබාන් සංවිධානය ද ඇෆ්ඝනිස්තානයේ ලෝකු උරුමයක් ව පැවති බාමියන් බුදු පිළිම විනාශ කළේ ජාත්‍යන්තර අවධානය දිනා ගනිමින් ඔවුන්ගේ ඉලක්කය වෙත යාමට අවශ්‍ය මග එළි පෙහෙළි කර ගැනීමටය. මේ අර්ථයෙන් මෙම සියලු ත්‍රස්ත සංවිධාන විශාල පොදු දේපළ හානියක් සිදු කරන්නේ කුමන අරුතින්ද ? ඒ ඔවුන්ගේ අරමුණ වෙත යාමට අවශ්‍ය මග නිරාවරණය කර ගැනීමේ මෙහෙයුමක් ලෙසය. එමගින් පවතින රජයට දැරිය නොහැකි පාඩු සිදු වන අතර එය එම රජයේ පැවැත්මට ඍජුව බලපෑම් කරයි. නමුත් මේ සියල්ලේ අවසන් පුරුක ලෙස මහජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වෙයි. ත්‍රස්ත සංවිධාන හා ඔවුන් සමග ගැටෙන රාජ්‍ය සංවිධාන පළමුව මගහැර ඇත්තේ මෙම මානූෂීය ගැටලුවයි.

පැහැදිලිව නැවත කිවහොත් ගෝලීය දේශපාලනය පවත්වාගෙන යාමට ත්‍රස්තවාදය මගින් යම් කාර්යයක් ඉටු කරයි. මොහොතකට ඔබ සිතන්න අයිඑස් සංවිධානය තම ක්‍රියාවලිය නතර කරන්නේ නම්, තලෙයිබාන් සංවිධානය සුණු විසුණු වී යන්නේ නම් ඇමරිකාව එදිනට ඔවුන්ගේ කොලනි අරාබිය තුළ ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘති අරඹන්නේ නැතිව සිටියි ද ? තෙල් සම්පත ඔවුන් අතට නොගෙන සිටියි ද ?

අද දවසේ ලෝක බලවතුන් ලෙස සැලකිය හැකි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් සියල්ල යම් ත්‍රස්ත සංවිධාන සමග යුදමය වශයෙන් අභිමුඛ වී සිටියි. ජර්මනිය චීනය පුළුල් වශයෙන් නොවුණත් ඔවුන් ඒ පිළිබද යම් අත පෙවීමක් නොයෙක් මට්ටමින් සිදු කරයි. මෙම ප්‍රධාන රාජ්‍යයන් තම විදේශ ප්‍රතිපත්තිය හසුරුවන්නේ මෙම ත්‍රස්ත සංවිධාන පසුබිමෙහි තබාගෙනය.

ඒ අතර අප මාතෘකාවට ගන්නා ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්ති පුදුමාකාර අයුරින් විවිධ වේශයන් ගනියි. මෑතකදී ඔවුන් විසින් සිරියාවට එල්ල කළ ප්‍රහාරය ප්‍රජාතාන්ත්‍රික හෝ එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි රාජ්‍යයක් හැටියට සිදු කළ නොහැක්කකි (සිරියානු යුද්ධය පිළිබඳව වැඩි තොරතුරු මෙතැනින්). විෂ වායු ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය යම් කාර්යයක් ඉටු කරමින් සිටිනා මොහොතක ඒ සදහා සිරියාවට අඩම්තේට්ටම් කිරීමට ඇමරිකාවට ඇති සුවිශේෂී බලය කුමද්ද ? ට්‍රම්ප් රජයේ හිතුවක්කාරී ක්‍රියා ලෙස එය අපට ලඝු කළ නොහැක. මන්ද ඔබාමා පාලනය විසින් බින් ලාඩන් ඝාතනය කළේ පාකිස්ථානයට කිසිදු දැනුම් දීමක් සිදු නොකරමින් ඔවුන්ගේ ගුවන් සීමා හා පාකිස්ථානයේ සියලු නීති රීති උල්ලංඝනය කරමින් ය. බුෂ් පාලනය ද ඊට දෙවැනි නැත. මේ ආකාරයට ඇමරිකාව සතු මෙම බලය ත්‍රස්තවාදය හා සම්බන්ධ වන ආකාරය වෙනත් කිසිදු සංවිධානයකට හෝ රාජ්‍යයකට පාලනය කළ නොහැක. තලෙයිබාන්, අල්-කයිඩා, අයිඑස්අයිඑස් සංවිධාන වෙනත් රාජ්‍යවල සිටියදී ඔවුන් ප්‍රහාර එල්ල කරන්නේ ඔවුන්ගේ හිතු මනාපය ට ය. එහිදී ඔවුන්ට ජනතාව එහි වාසය කරන්නේ ද යන්න අදාළ නොවන්නේ වෙනත් රාජ්‍යයන් හා ත්‍රස්තවාදීන් අතින් සාමාන්‍ය ජනතාව ඝාතනය වූ විට ඔවුන් ගන්නා ප්‍රවේශය සමග විශාල පරස්පරතාවයක් ඇති කරමිනි. මෙම තත්ත්වය ග්‍රාම්‍ය උදාහරණයකින් කියන්නේ නම්, ගමේ චන්ඩියාගේ භූමිකාව ඇමරිකාව විසින් ඉටු කරමින් සිටියි. ඇමරිකාවේ පත් වුණු සියලු පාලකයන්ගේ විදේශ ප්‍රතිපත්තියේ පොදු සාධකය වන්නේ මේ චණ්ඩියාගේ භූමිකාව යි.

මෙරට යුද්ධයට අත පෙවීමට ඇමරිකාව, රුසියාව ප්‍රංශය විශේෂයෙන් චීනය අලස වූයේ එල්ටීටීඊ සංවිධානය ගෝලීය වශයෙන් වෙනත් කිසිදු රාජ්‍යයක විදේශ ප්‍රතිපත්තියට හෝ වෙන යම් දෙයකට බලපෑම් එල්ල නොකරන බැවිනි. අනෙක් කාරණය ඔවුන් සටන් කළ භූමියේ අද්විතීය ස්භාවික සම්පතක් නොමැති වීමය. උතුරේ යුද්ධයේ බලපෑම එල්ල වූයේ ඉන්දියාවට පමණි. ඉන්දියාව ඒ සදහා විවිධ අවස්ථාවල විවිධ ක්‍රියාමාර්ග ගැනීමට උත්සහ කළේය. ඒ අතර මෙරට රජයේ තත්ත්වය ගණනකට නොගත් අවස්ථා තිබුණි. එසේ නම් ඇමරිකාව වැනි ප්‍රබල රාජ්‍ය ද තම ත්‍රස්ත විරෝධය ආරම්භ කරන්නේ ඔවුන්ගේ රාජ්‍යයට ඇති වන බලපෑම මත පමණි. සෝමාලියානු සිවිල් යුද්ධය ඇතුළු අප්‍රිකානු කලාපයේ යුද්ධ ඔවුන්ට තරම් නොවේ. නමුත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ඇමරිකානු හෝ යුරෝපීය නැවක් ප්‍රාණ ඇපයට ගත් මොහොතක ඔවුන් මුහුදු කොල්ලකරුවන් තුරන් කිරීමට සාකච්ඡා කරයි. තවද ඔවුන් යුදමය වශයෙන් මැදිහත් නොවන සිවිල් අර්බුද සදහා ඔවුන් ප්‍රවේශ වන්නේ ඒවායේ මානව අයිතීන් උල්ලංඝනය වීම් පිළිබද යි. මේ සියලු කරුණු සළකා බැලීමේදී ඇමරිකාවේ විදේශ ප‍්‍රතිපත්තිය යනු කුමක්ද ?

අප වැනි තුන්වැනි ලෝකයේ සංවර්ධනය වන රටකට මෙම තත්වය සාමාන්‍ය තත්වයක් බව කිව හැකිය. මහින්ද රාජපක්ෂ සමයේ වැඩි නැඹුරුතාවයක් චීනය වෙත පැවති අතර යුරෝපා සංගමය හා ඇමරිකාව සමග සම්බන්ධතා සවිමත් එකක් නොවීය. අද දවසේ ජාතික ආණ්ඩුව යටතේ එය කන පිට ගැසී ඉන්දියාව වෙත වැඩි නැඹුරුතාවයක් දක්වයි. පසුගිය ආණ්ඩුව චීන සමාගම් සමග වැඩි මිත්‍රත්වයකින් කටයුතු කිරීමත් ඒ හරහා ඔවුන්ගේ දේශපාලන ස්ථාවරත්වය ගොඩ නගා ගත හැකි වීම තුළ ඔවුන් චීනය සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළෝය. වර්තමානයේ එම අරමුණින් ම එය වෙනත් දිශානතියක් තුළ සිදු වෙයි. තුන්වන ලෝකයේ රටක් හැටියට ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය කේන්ද්‍ර වන්නේ පැහැදිලිව ම ආර්ථිකය කේන්ද්‍ර කොට ගෙනය. නමුත් ඇමරිකාවේ මෙය මූලිකව ආරක්ෂාව සමග බැදේ. එම නිසා ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය එම මොහොතේ පවතින ගෝලීය යුද වාතාවරණය මත පිහිටයි.

ඒ සඳහා ආසන්නතම උදාහරණය වන්නේ ඉහත සදහන් කළ පරිදි සිරියානු යුද්ධය වෙත ට‍්‍රම්ප් අභිමුඛ වූ ආකාරය යි. තවත් අවස්ථාවක් ලෙස ඔසාමා බින් ලාඩන්ගේ ඝාතනය හැඳින්විය හැකිය. එහිදී ඇමරිකානු ගුවන් හමුදාවේ ක‍්‍රියාන්විතය අවසන් වූවා ට පසුවයි පාකිස්තානු ජනපතිවරයා මෙම තත්වය පිළිබඳ දැනගන්නේ. වෙනත් ස්වාධීන රාජ්‍යයක යුද කටයුතු පැවැත්වීම හා ගුවන් සීමා අයතු ලෙස භාවිතා කිරීම ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්තියේ කොයි ආකාරයට තහවුරු කර ඇද්ද ? මේ දිනවල කාල් වින්සන් යාත‍්‍රාව දකුණු චීන මුහුදේ නවතා ඇත. ඒ තමුන්ගේ නියෝගවලට අවනත නොවුණු උතුරු කොරියාවට එරෙහි යම් ක‍්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ය. (උතුරු කොරියාවේ ව්‍යපෘතිය ද මින් සාධාරණීකරණය නොකරනව බව කිව යුතුය.) ඒ සඳහා ජපානයෙන් හා දකුණු කොරියාවෙන් සහයෝගය ද ලැබෙයි. මේත් සමග තලෙයිබාන් කණ්ඩායම සමගත් ඇමරිකාව ඇෆ්ඝනිස්ථානයේ විශාල යුද්ධයක් සිදු කරගෙන යයි. එකවර යුද්ධ තුනක් වෙත අභිමුඛ වීමේ මහා බලවතා සතු බලය විදාරණය කිරීම යනු ඇමරිකාවේ විදේශ ප‍්‍රතිපත්තිය තමුන්ගේ ආරක්ෂාව පිළිබද සිතන ආකාරය ගැන අදහසකි.

ඇමරිකාව කියන්නෙ 200 කට ආසන්න රටවල් සංඛ්‍යාවක් සමග තම විදේශ සම්බන්ධතා පවත්වාගෙන යන රාජ්‍යයකි. තම රාජ්‍ය සතු ආර්ථික දේශපාලන යුදමය වැනි විවිධ පාර්ශවයන්හි බලය වර්ධනය කර ගැනීම ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියේ අවසන් අරමුණ ලෙස හැදින්විය හැකිය. ඇමරිකානු නිදහස් සටනින් පසුව ඔවුන් බලවත් යුරෝපීය රාජ්‍යයක් ලෙස පැවතීමට උත්සහ කළෝය. අවසාන අරුතින් ඇමරිකාව සතු බලය ලෝක ජනතාවගේ සුබ සිද්ධියට හේතු වන හෝ වෙනත් ආකරයකට ලෝකයට පැමිණිය හැකි බලවේගයක් වෙනුවෙන් ඉදිරිපත් වන බලයක් හැටියට ප්‍රතීයමාන නොවේ. ඇමරිකාව සිරියානු යුද්ධය පිළිබද සංවේදී වන්නේ ඔවුන්ගේ ප්‍රධාන සතුරෙකු වන රුසියාව ඊට සම්බන්ධ වී සිටිනා නිසාය. පොදුවේ ගෝලීය තෙල් සම්පත නතු කර ගැනීම, න්‍යෂ්ටික කෙෂ්ත්‍රයේ බලවතා වීම, සියලු පාලනයන් ඔවුන්ට හිතැති සුහද පාලනයක් බවට පත් කර ගැනීමට යි.

අප මුල දී පෙන්වා දුන් ත්‍රස්ත කණ්ඩායම්වල ප්‍රධාන ක්‍රියාකරම් සියල්ල ඔවුන් සිදු කරන්නේ කිසිදු වගවිභාගයකින් තොර ප්‍රචණ්ඩ අයුරිනි. ත්‍රස්ත කණ්ඩායම්වල මූලික ප්‍රතිපත්තිය වන්නේ තමන්ට අවැසි තමුන්ගේ අරමුණ වෙත ළගා වීමට අවශ්‍ය කටයුතු ප්‍රචණ්ඩත්වය තුළින් ළගා කර ගැනීමය. ඒ අර්ථයෙන් ඇමරිකානු හැසිරීම හා ත්‍රස්ත කණ්ඩායම්වල හැසිරීම අතර විශාල වෙනස් කමක් නැති බව අපට කියන්නට සිදු වන්නේ දෙපාර්ශවයේම ක්‍රමවේදය බොහෝ අයුරින් සමපාත වන බැවිනි.

නමුත් මෙහි දී අසමාන වන දෙයක් ද තිබේ. ඒ තමයි මේ දෙපාර්ශවයේ එක් පැත්තක් විසින් මේ පවත්නා ක්‍රමයේ වරප්‍රාසාදිත පාලකයන් නියෝජනය කරන අතර අනෙක් අන්තයේ සිටින්නේ ගෝලීය ක්‍රමයක් විසින් පිටුවහල් කර ඇති මිනිසුන් ය. පීඩිතයා පෙළෙමින් සිටියි, හව්හරණක් නැතිව ලෝක ගෝලයෙන් ඉවතට තල්ලු වෙමින් සිටියි, බොහෝ විට අවසන් සාධාරණතම විසදුම ඔවුන්ට සාපේක්ෂව යුදමය ක්‍රියාවලියක් වීම නොවැලැක්විය හැකි තත්ත්වයන් ලෝක ඉතිහාසයේ හමු වෙයි. ඒ සදහා පිළිතුරු දෙන ඇමරිකානු ක්‍රමවේදය අතිශය අසාර්ථක බව අද දවසේ ලිබියාව, ඉරාකය, ඇෆ්ඝනිස්ථානය, ඊජිප්තුව දෙස බැලූ විට මනාව තහවුරු වෙයි. අවසාන අරුතින් අපට කියන්න සිදු වන්නේ මෙයයි. ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ බැරෑරුම් ප්‍රජාතන්ත්‍රකරණයක් සිදුවන තුරු ගෝලීය සාමය යනු ළඟා විය නොහැකි ඉලක්කයක් බවයි. නමුත්, මේ ආකාරයේ ප්‍රජාතන්ත්‍රීයකරණයක් ඇමරිකානු දේශපාලනයේ සිදු වීම යනු, අවසන් අර්ථයෙන්, ධනවාදයට එරෙහිව පමණක් ඇති විය හැක්කකි.

රංග මනුප්‍රිය