රටේ ජාතික සම්පත් විකුණන කැබිනට් මණ්ඩලයක සිටීම ලැජ්ජාවක් – විජේදාස රාපක්ෂ

රටේ ජාතික සම්පත් විකුණන කැබිනට් මණ්ඩලයක වැඩ කිරීම  තම හෘද සාක්ෂියට අනුව ලැජ්ජාවට කරුණක් බව හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඉතිහාසයේ සෑම අධිකරණ අමාත්‍යවරයෙකුටම එල්ල වූ චෝදනාවට වඩා වෙනස් වූ චෝදනාවක් තමන්ට එල්ල කරමින් තමන්ව ධූරයෙන් පහ කළ බව ඒ මහතා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද(23)  දිනයේ අමාත්‍යවරයා දරණ සියලු කැබිනට් අමාත්‍ය ධූරවලින් ඔහු ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය යොමුකළ ලිපිය සඳහා ජනාධිපතිවරයා අනුමැතිය ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා කියා සිටියේ ඉතිහාසයේ සෑම අධිකරණ අමාත්‍යවරයෙකුටම එල්ල වූ චෝදනාව වූයේ අධිකරණයට බලපෑම් කිරීම හා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කිරීම යැයි වුවත් තමන්ට ඇති චෝදනාව වූයේ අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් නොකිරීම බවයි.

එමෙන්ම අප රට තුළ ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ අමාත්‍ය මණ්ඩලයක් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වෙනි ව්‍යවස්ථාව අනුව හම්බන්තොට ගිවිසුම වැනි ගිවිසුමකට ඇතුළුවීමේදී එය අත්‍යවශ්‍ය යෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය යුතු බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මෙම හම්බන්තොට ගිවිසුම අත්සන් කරනු ලැබුවද එය කඩදාසියකට පමණක් සීමා වූ බල ශූණ්‍ය වූ කොළයක් පමණක් බවද ඒ මහතා කියා සිටියේය.

එය හෙළිදරව්වීමත් සමඟ යම් කුපිත වූ කණ්ඩායමක් විසින් තමන්ට මෙම තත්ත්වය උදා කළ බවත්, එවැනි ජාතික සම්පත් විකුණා දමන කැබිනට් මණ්ඩලයක් තුළ සිටීමට සිදුවීම තම හෘද සාක්ෂියට අනුව ලැජ්ජාවට කරුණක් බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම තමන් මේ ආකාරයෙන් කතා කරන්නේ අස් කළ අමාත්‍යවරයෙකු ලෙස බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මහ බැංකු බැඳුම්කර මඟඩිය වැනි මහා පරිමාන දූෂණ හා වංචා ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසම හමුවේ දිග හැරෙමින් තිබෙන බවත්, ඒ හේතුවෙන් එහි මහ මොළකරුවන්ද එළියට එන බවත් කියා සිටි ඒ මහතා පවසා සිටියේ ඔවුන් මේ වන විට බිය වී ඇති බවයි.

එමෙන්ම එවැනි තත්ත්වයක් තුළ නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනව පවත්වාගෙන ආ බවත්, ඒ නිසාවෙන් වැරදි වසා ගැනීමට හා යට ගැසීමට සුදුසු පුද්ගලයෙකු පත් කිරීමට මෙලෙස ස්වාධීන නීතිපති දෙපාර්තමේන්තුවේ කොදු නාරටික කඩා දැමූ බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම පසුගිය 15 දා දින චන්ඩි මන්ත්‍රී මැති ඇමතිවරුන් හා පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති මන්දිරයට රැස්වී නීතිපතිවරයාට විවිධ ලෙස දෑ ප්‍රකාශ කර බලපෑම් කර ඇති බවත් , එහිදී තරහකාරයින්ගේ නඩු හැකි විගස විභාගයට ගන්නා ලෙසද ප්‍රකාශ කර ඇති බව ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමඟ තමාගේ සම්බන්ධයක් ඇති බවට ප්‍රචාරයන් පතුරමින් තමන්ව බිල්ලට දීමට මේ ආණ්ඩුව උත්සහ කරන බවද ඒ මහතා පවසා තිබේ.

එමෙන්ම පසුගිය සමයේ එජාපය විසින් ලංගම විකිණූ බවත්, තමන් නඩු කියා එය නැවත ලබා නොගත්තේ නම් මේ වන විට ලංගමක් නොමැති බවද ඒ මහතා කියා සිටියේය.

ඒමෙන්ම රක්ෂණ සමාගම විකිණීම, ඇපලෝ රෝහල විකිණීම, කොළඹ වරායේ අක්කර ගණනක් විකිණීම යනාදී ජාතික සම්පත් විකිණීමේදී ඒ සෑම අවස්ථාවකදීම නීති මාර්ගයෙන් එය නැවත ලබා ගැනීමට තමන් පෙරමුණ ගෙන කටයුතු කළ බවද ඒ මහතා පෙන්වා දුනි.

එමෙන්ම ඇවන්ගාඩ් නඩුවට තමන්ව සම්බන්ධ කරමින් විවිධ ප්‍රකාශයන් සිදු කළ බවත්, එම නඩුව හරි ආකාරව විභාගයට ගන්නවානම් වර්තමාන ආරක්ෂක ලේකම්ගේ සිට පිරිස් අත්අඩංගුවට ගත යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

එනම් මේ වන විට නාවික හමුදාවට අයත් තුවක්කු 500ට වඩා එහි තැන්පත් කර ඇති බවත්, එයත් නීති විරෝධී කටයුත්තක් බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම තමන් අමාත්‍යධූරයෙන් ඉවත් නොවූ බවත්, ඉවත් කළ බවත්, තමන්ගේ ගමන ඉදිරියේදී ප්‍රකාශ කරන බවත්, එතෙක් තමන් ස්වාධීනව කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අපූරු වෙළෙන්දෝ

 By: සොනාල ගුණවර්ධන                      

මා කුඩා කළ අප නිවසට පැමිණෙන වෙළෙන්දෝ කීප වර්ගයක් විය. ඒ අතරින් වේවැල් වලින් සාදන ළද විශාල එළවලු වට්ටියක් හිස මත තබාගෙන පැමිණෙන අවුරුදු හැත්තෑවක් පමණ වූ සීයා කෙනෙකු සුවිශේෂී විය. ඔහු එළවළු පිළිවෙලකට සකස් කළේ අප නිවස ඉදිරි පස වු කණ්ඩියක සිටය. ඔහු කෙදිනකවත් අපට එළවළු විකුණන්නට උත්සාහ දරනවා මට මතක නැත. ඔහු පැමිණි විගස මා ද අසලට ගොස් වාඩිවෙන්නේ ඔහු එළවළු පිළිවෙලකට සකස් කරන අන්දම බැලීමට ය. ඔහු සතුව තිබූ කුඩා වක් පිහියට මා කැමති බව ඔහු දැන සිටි බැවින් ඔහු එළවළු නොකපන විට මට එය ලබා දුන්නේය. එවැනි වයසක සිට ඔහු එම රැකියාව කළේ එය ජීවිතය ගෙන යෑමට තිබු එකම මාර්ගය වු නිසා වීමට පුළුවන. ඒත් ඔහු වැඩිකල් එලෙස පැමිණියේ නැත.

විටින් විට දෙහි හෝ අමු මිරිස් ගෝනියක් කර තබා ගෙන පැමිණි වයස අවුරුදු හතලිහක් පමණ වූ වෙළෙන්දා ද අපූරු අයෙකි. මා අලෙවිකරණය පිළිබඳ ප්‍රථම පාඩම ඉගෙන ගත්තේ ඔහුගෙන් ය. ඔහු භාෂාව හැසිර වූයේ ඔහුගෙන් මිලදී නොගන්නේ නම් අපට මහත් පාඩුවක් වන අයුරිනි. ඔහු සෑම විටම ග්‍රෑම් සියයක් හෝ දෙසීයක් වැඩිපුර ලබාදෙනවා මෙන් රඟපෑ නමුදු එසේ කළේ නැත. අප කිසිදිනෙක ඔහු හරවා යවනවා ද මතක නැත. ඔහුගේ භාෂා විලාශය හේතුවෙන් අපේ තාත්තා ඔහුට ” පුකේ කරුණාව” යනුවෙන් නමක්ද පටබැඳ තිබුණි. ඔහුට සිදුවුයේ කුමක්දැයි යන්න ගැන කවුරුත් නොදනී.

රවුම් තොප්පියක් පැළඳගෙන බිත්තර පෙට්ටියක් සහිත බයිසිකලය පැදගෙන එන “බිත්තර මුදලාලි ” වැඩි කතා බහක් නැති අයෙකි. ඔහු සිනහමුසු මුහුණින් වෙළඳාම කර පිටවී යයි. ඔහු අදටත් එලෙසමය. ඔහුගේ පෙනුම ද එදා දුටු විලසමය. දිනපතා සැතපුම් ගණන් බයිසිකලය පැදීමෙන් ලැබෙන ව්‍යායාමය නිසාදෝ ඔහුගේ වයසට යෑම නැවතී ඇති බව හැඟේ.

“කඩල කමු..විනාඩි පහෙන් මහත් වෙමු” යයි හඬගා සීනුව නාද කරමින් පැමිණි කාල වර්ණ සිරුරැති තම්බපු කඩල විකුණු වෙළෙන්දා සැහෙන ජනප්‍රිය අයෙකි. ඔහු පැමිණියේ හිටි හැටියේම වුවත් ඔහුගේ කඩල වලට දැමු මිශ්‍රණය නිසා එය රසවත් වූවක් විය. ඔහු ඇවිද්දේ කඩදාසියක් ලිපේ දමා පැමිණි අයෙකු විලසිනි. ඔහුගෙන් කඩල ගැනීමට ඔහුගේ පිටුපස දිව යා යුතු විය. එකල එය අපට මහත් විනෝදය ගෙන දෙන්නකි. ඔහු LTTE ඔත්තුකරුවෙකු බව පසුව හඳුනාගෙන තිබූණි. ඔහුට සිදුවුයේ කුමක්ද යන්න ගැන අප අදටත් දන්නේ නැත.

අතීතකාමය වර්තමානයේ ජීවත්වීමට බාදාවක් බව මම දනිමි. එහෙත් මේවා මතකයෙන් ගිලිහී යාමට පෙර කොහේ හෝ සටහන් කර තිබීම සුදුසු යැයි හැඟෙන නිසා විවේකී විට ලියමි.

කළුතර කාර්මික වෙළෙඳ කලාපයක් ඉදිකිරීමේ සැලසුමක්

කළුතර, මිල්ලනිය ප්‍රදේශයේ කාර්මික වෙළෙඳ කලාපයක් ඉදිකිරීම සඳහා  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ තායිලන්ත සමාගමක් අතර අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.

ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද්‍ර රත්නායක සහ තායිලන්ත රොජානා සමාගමේ සභාපති ඩිරෙක් විනිච්බුටර් යන මහත්වරුන් අද පෙරවරුවේ එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු කෙරුණි.

2018 වසරේ දෙසැම්බර් මාසයේ මෙම කාර්මික වෙළෙඳ කලාපයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත අතර රැකියා දස දහසක් ඒ තුළින් නිර්මාණය වන බව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේය.

උතුරු නැගෙනහිර තරුණ තරුණියන් සඳහා ද එමඟින් රැකියා ලබාදීමට අපේක්ෂිත බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

පරිසර තක්සේරු වාර්තා සැලකිල්ලට ගනිමින් අක්කර 400ක භූමි ප්‍රමාණයක ඉදිකිරීම් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු  අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ උපදෙස් මත ආයෝජන මණ්ඩලය මඟින් පහසුකම් සපයන බව රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතා සඳහන් කළේය.

ආණ්ඩුවේ අලුත්ම ගොදුරු ගැන ගම්මන්පිල කියයි

වත්මන් ආණ්ඩුව සිය නවතම ගොදුර බවට පත්කරගෙන ඇත්තේ කටුනායක, දක්ෂිණ සහ කොළඹ අධිවේගී මාර්ගයන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අධිවේගි මාර්ග තුනම අධිකාරියකට පවරා ගැනීම හරහා ඩොලර් මිලියන 600කට චීනයේ ෂැංඩොංග් කියන සමාගමට විකිණීමට සියල්ල සූදානම් කර ඇති බව ද ඔහු කියා සිටියේය.
විකිණීමක් සිදු නොකරන බව පවසමින් වසර 35කට බදු දෙන බව පැවසුව ද වසර දහයකට වඩා බදු දෙන්නේ නම් එය විකුණුමකට සමාන බවට තක්සේරු කිරීමේ දී සලකන බව ද ගම්මන්පිල මහතා පැවසීය.
කෙසේ වෙතත් මේ සතියේ ඇමති මණ්ඩල රැස්වීමට මේ පිළිබඳ ඇමති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු කියා සිටියේය.
මෙලෙස සියල්ල විකුණා දමමින් ගියහොත් අවසානයේ රටට ඉතිරි වන දෙයක් නොමැති බවත් ඉතිරිවන්නේ අහිංසක ජනතාව පමණක් බවත් ගම්මන්පිල මහතා පැවසීය.
එවැනි දිනක් උදා වෙන තුරු බලා නොසිට මේ විකිණීමට එරෙහිව පාරට බහින ලෙස රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගගේ ඉල්ලීම් ඉවතට

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා නිකුත් කර ඇති වරෙන්තු නියෝගය ආපසු කැඳවන ලෙස සහ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට කළ ඉල්ලීමක් කොටුව  මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

උදයංග වීරතුංග මහතාගේ නීතිඥවරුන් විසින් එම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබූණි.

එම ඉල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පවසා ඇත්තේ සැකකරුට එරෙහිව එල්ල වී ඇත්තේ වරෙන්තු නියෝගයක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි චෝදනා බවයි.

සැකකාර උදයංග වීරතුංග මහතා කළ යුත්තේ විදෙස් ගමන් තහනම හෝ වරෙන්තු නියෝග ආපසු කැඳවන මෙන් අධිකරණයෙන් ඉල්ලීම නොව අධිකරණයට හෝ ළඟම ඇති පොලීසියට බාරවීම බව අතිරේක මහේස්ත්‍රාත්වරිය  එහිදී පෙන්වා දී තිබේ.

2007, 2008 වසර වලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කරන පරීක්ෂණයේ සැකකරුවෙකු ලෙස උදයංග වීරතුංග මහතා නම් කර ඇති බැවින් ඔහු  අත්අඩංගුවට ගැනීමට අධිකරණය මීට පෙර අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණි.

රවීන්ද්‍ර විජේගුණරත්න වයිස් අද්මිරාල් ධූරයට

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය සදහා ජනපතිවරයා විසින් පත් කළ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  අඟහරුවාදා (22) දිනයේ එම ධූරයේ වැඩ බාරගැනීමට නියමිතව තිබේ.

මේ වන විට නාවික හමුදාපතිධූරයේ කටයුතු කරන වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 22වනදා එම ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත අතර නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කෙරුණු වයිස් අද්මිරාල්  සින්නයියා මහතා එදින සිය ධූරයේ වැඩ බාරගැනීමට නියමිතය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීධූරයට පත් වන දෙවන නාවික හමුදාපතිවරයා වන්නේ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතායි.

මීට පෙර අද්මිරාල් දයා සඳගිරි මහතා 2005 වසරේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීධූරයේ කටයුතු කරනු ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය දරා ත නොහැකිව ක්‍රිඩාලෝලීන් විරෝධතාවක

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති පළමු එක් දින ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට කඩුලු 9 කින් පරාජය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීහු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාංගණය තුළ කෝපයෙන් විරෝධතා දැක්වූහ.

ඒ අනුව උද්ඝෝෂකයන් විසිරී යන තුරු විනාඩි තිහකට ආසන්න කාලයක් ක්‍රීඩාංගණය තුළ රැඳී සිටීමට උපුල් තරංග ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

අවශ්‍ය වුවහොත් තත්වය පාලනය කිරීම පිණිස කැරලි මර්ධක පොලිසිය කැඳවීමට ද බලධාරීහු පියවර ගත්හ.

මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේදී දක්ෂ පිතිහරඹයක යෙදුන නමුත් ඉන් අනතුරුව ලකුණු 216 කට සියලු දෙනාම දැවී ගියේය.

එයට ප්‍රතිචාර වශයෙන් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 220 ක් රැස් කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත්වූහ.

පසුගිය මාස කිහිපය ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුපුරුදු දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ අතර, ඒ පිළිබඳව ක්‍රීඩා බලධාරීන්ට සහ කණ්ඩායමට ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල විවේචන එල්ල විය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන් මෙවැනි උද්ඝෝෂණයක නිරත වූ ප්‍රථම අවස්ථාව අවස්ථාව මෙය බව බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අදහසයි.

ලොව අවසන් ගැහැණිය පදවන ආදරයේ ඔංචිල්ලා

By: නිරාශා පියවදනි – nirashapiyawadani@gmail.com 

ඇය ලොව අවසානයට ඉතිරි වන ගැහැණියයි. පිරිමින් පමණක්  ශේෂව ගිය ලෝකයක අවසානයට ඉතිරි වූ එකම ගැහැණියකගේ සංවේදනාවන් කෙසේ වනු ඇතිද? 

ඒ ගැහැණිය වේදිකාව මත ප්‍රතිනිර්මාණය කරන ගැහැණියගේ මුහුණ දෙස බලා මා විමසුවේ ඔබ ඇයනම් කුමක් කරන්නේද කියාය. ඇය ගත් කටටම කිවේ “වෙන අහවල් දෙයක්ද? මා නම් හැකිතාක් විනෝද බරව මේ අවසන් හෝරා කිහිපය ගෙවා දමමින් ප්‍රීතිමත් අවසානයකට ලක ලැහැස්ති වන බවයි!”

 ඉතාලි ජාතික ජුලියා පිලිප්පෝ ඒ මුදා හැරියේ  යුරෝපයේ නිෂ්පාදිත ගැහැණු හඩ විය හැකිය. එහෙත් ඉන්දියන් සයුරේ මුතු ඇටය පෝෂණය කළ නිර්මාණකරුවන් දෙපළගේ හිස තුළ මැවුණු ගැහැණිය ඊට ඉදුරා වෙනස්ය.  ඇගේ සංවේදනාවන් රාගය කෝපය ඊර්ෂ්‍යාව මුසු වී ව්‍යාකූලව ගොස් ඇත. 

කාව්‍යමය ගුණය දෝර ගලා යන අපූරු බස් වහරකින් ඇය ඔංචිල්ලාවක් මත දිග හරින්නේ හදවත පුපුරා ගලා හැලෙනා නේක විධ සංවේදනා සමූහයකි. මෙතෙක්  ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය  ප්‍රේක්ෂකාගාරයට එතරම් නුපුරුදු මේ බස් වහර ගෙත්තම් වන්නේ ප්‍රවීණ කිවියර මංජුල වෙඩිවර්ධනයන් අතිනි.  ඔහුගේ මුල් සිංහල පිටපත එහි වන කාව්‍යාත්මක බවින් ඉංග්‍රීයට නගන ලද්දේ  දිලිනි ඊරියවල විසිනි.

නාට්‍ය අධ්‍යක්ෂණය ප්‍රවීණ නාට්‍යෙව්දී එම්. සෆීර්  විසිනි. නිරන්තර වේදිකාවේ පර්යේෂණාත්මක නිර්මාණකරණයට වෙසෙස් නැඹුරුවක් දක්වන නිර්මාණකරුවෙක් ලෙසින් එම්. සෆීර් හැදින්විය හැකිය.

සිරුරේ හැඩතල භාවිත කරමින් සිදු කරන හැගීම් ප්‍රකාශනයන්, වර්ණවත් ඔංචිල්ලා, කෘතිම වැස්ස, ආදී පර්යේෂණාත්මක අංගයන්ගෙන් වේදිකාව හැඩ කරන මෙම නාට්‍යමය ගෙත්තම ප්‍රේක්ෂකයාට නව්‍ය අත්දැකීමක් තිළිණ කරනු ඇති බව ඔහුගේ විශ්වාසයයි.

 ජාත්‍යන්තර තලයට රැගෙන යාමේ අරමුණින් නිර්මාණය වූ  මෙම කෘතිය පුරා දිව යන්නේ එකම චරිතයක් පමණි. ඒ කාන්තා චරිතයකි. 

 වේදිකාවේ ජාත්‍යන්තර  අත්දැකීම්වලින් සන්නද්ද වූ ඉතාලියනු රංගවේදිනියක වන  ජූලියා ෆිලප්පෝ මේ සදහා තෝරා ගත්තේ ඈ සතු රංගනයේ අත්දැකීම් බහුලකම නිසාම නොවේ

IMG_3414

ඔංචිල්ලාවක හරඹ කරන්නට තරම් අපූරු නම්‍යශීලී සිරුරක් ඇයට හිමිව තිබීමත් ආදරයේ ඔංචිල්ලා පදවන්නට ඇයට විශේෂ සුදුසුකමක් විය.  මේ වන විට ජූලියා ෆිලිප්පෝ මෙරට පැමිණ සිටීඇය මාසයක කාලයක් පුරාමෙරට රැදෙමීන් පූර්ණකාලීණව පුහුණුවීම්වල නිරත වූ අතර සීමිත ආරාධිත ප්‍රේක්ෂාගාරයක් වෙනුවෙන් පැවැත්වෙන මෙම නාට්‍යය නිර්මාණයේ පූර්ව මංගල දර්ශනය දක්වා අඛණ්ඩව මෙහි රැදී සිටිනු ඇත.

එම පූර්ව මංගල දර්ශනය 21 වන දා එනම් අද දින කොළඹ ලුම්බිණි රගහලේදී වේදිකාගත වේ.

ආදරයේ ඔංචිල්ලා “ මංගල දර්ශනය පැවැත්වෙන්නේ නොවැම්බර් මස ඉන්දියාවේ පූනේ අයිෆා ජාත්‍යන්තර නාට්‍ය උළෙලේදීය. තවත් විශේෂ දර්ශන වාර තුනක් කොරියාවේ සෝල් නුවර කොරියානු ජාත්‍යන්තර ඩියෝ නාට්‍ය උළෙලෙදී’ පැවැත්වේ.  ඉන් පසු එයලොවපුරා ආරාධිත දර්ශන ගණනාවක් වේදිකා ගත කෙරෙයි.

IMG_3342

එමෙන්මමෙහි නිෂ්පාදන කළමණාකරණය හා රංගාලෝක රචනය සූජීව පතිනිසේකර විසින්  සිදුකෙරෙයි.  සංගීත නිර්මාණය වින්දක වීරසිංහගෙනිවේදිකා කළමණාකරණ ජීවන්තිපෙරේරා සිදුකරන අතරවේදිකා පරිපාලනය තරුෂිකාවින්දිය මෙම  නිෂ්පාදනයේ ජාත්‍යන්තර සම්බන්ධිකරණ කටයුතු සිදු කරනු ලබන්නේ ජයලත් එස්ගෝමස් විසිනි.

By: නිරාශා පියවදනි – nirashapiyawadani@gmail.com

වෙලාව ආවම මම එනවා – තිස්ස අත්තනායක

සුදුසු අවස්ථාව පැමිණි පසු තමා ක්‍රියාකාරී දේශපාලන කටයුතු වලට  යොමු වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් මේ වන විටත් තමාට විවිධ ආරාධනා ලැබී ඇති බවයි.

මහනුවර ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගීවීමෙන්  අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් තිස්ස අත්තනායක මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය

නල්ලූර් කෝවිලේ තේර් පූජාව අද

යාපනය – නල්ලූර් කෝවිලේ අවසන් තේර් පූජාව අද (20) දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය නල්ලූර් කෝවිලේදී පැවැත්වෙයි.

මංගල්‍ය පැවති කාල සීමාව තුළ ලක්ෂ පහකට වැඩි පිරිසක් පූජාවන් වෙනුවෙන් සහභාගී වූ බව කෝවිලේ භාරකාර මණ්ඩලය පවසයි.

විදේශගත දමිළ ජනතාව විශාල පිරිසක් මෙවර නල්ලූර් මංගල්‍ය වෙනුවෙන් පැමිණීමද විශේෂත්වයකි.

දින 25ක කාලයක් පැවති මංගල්‍ය පූජා කටයුතු හෙට පැවැත්වෙන දිය කැපීමේ පූජාවෙන් අනතුරුව නිමා කිරීමට නියමිතය.