මැයි 09 දේශපාලනඥයින්ගේ නිවාසවලට හානි කිරීමේ සිද්ධියට අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි

දේශපාලනඥයින්ගේ නිවාසවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ රීට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (16) නියෝග කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට පෙබරවාරි මස 24 වනදා කරුණු දක්වන ලෙස දන්වා අධිකරණය නොතීසි නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පසුගිය මැයි මස 09 වනදා දේශපාලකයින්ගේ නිවාසවලට පහර දී ගිනිබත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර තිබෙනවා.

පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම් වරයා, යුද හමුදාපතිවරයා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මහජන සාමය පිළිබඳ අමාත්‍යාශයේ ලේකම්වරයා ඇතුළු 18 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

බදු අඩු කළොත් බිත්තර මිල අඩු කරනවා – බිත්තර නිෂ්පාදකයින්

කුකුළු ගොවිපළවල් සඳහා ආනයනය කරන ඖෂධ සහ ආහාර වර්ග සඳහා රජය විසින් අයකරන බදු ඉවත් කරන්නේ නම් බිත්තරයක් රුපියල් 40 ක මිලකට ලබාදිය හැකි බව බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි සභාපති නිලේෂ් රූපසිංහ පෙන්වා දෙන්නේ ඩීසල් පෙට්‍රල්, වී කුඩු, පුන්නක්කු සහ බඩඉරිඟු මිලද ඉහළගොස් ඇති බවත් බිත්තර මිල සඳහා මේවාද බලපා ඇති බවයි.

ඇතැම් පිරිස් බිත්තර ආනයනය කිරීමට සූදානම් වන්නේ කොමිස් ලබා ගැනීමේ අරමුණ ඇතිව බවයි බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

මහින්ද රාජපක්ෂ හා චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් අතර හමුවක්

මෙරටට පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චින් ෂූ (Chen Zhou) ඇතුළු පිරිසක් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගී වී ඇති බවයි සඳහන් වන්නේ.

දුම්රිය සේවය සඳහා සේවකයින් 3,000 ක් බඳවා ගැනීමට කටයුතු කරනවා – බන්දුල ගුණවර්ධන

දුම්රිය සේවය සඳහා නව සේවකයින් 3,000ක් බඳවා ගැනීම සිදුකරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

දීර්ඝ කාලයක් සේවකයන් බඳවාගෙන නොමැති බවත් සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවීමට ක්‍රමයක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව දැනට රාජ්‍ය සේවයට බඳවාගෙන සිටින කාර්ය සාධක බළකායේ සිටින සේවකයන්ගෙන් 3,000ක් දුම්රියට බඳවාගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

පාඨලී සහ වෙල්ගම සන්ධානගත වෙයි

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී තවත් පක්ෂ දෙකක් සන්ධානගතව ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම එකඟතාවයකට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් – ඉන්දීය විදේශ ඇමති

වත්මන් ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දීමට ඉන්දීය විදේශ අමාත්‍ය එස්.

ජයිශංකර්ගේ මෙරට සංචාරයේදී අපේක්ෂාවෙන් පසුවන බව The Hindu පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඒ අනුව එහිදී බලශක්ති, ආහාර සුරක්ෂිතතා සහ විනිමය හුවමාරු සම්බන්ධයෙන් මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

පසුගිය වසරේදී මෙන්ම ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සදහා ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දීමට ඉන්දියාව අපේක්ෂා කරන බවයි The Hindu පුවත්පත වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ මස 19 වන දා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් දෙදින සංචාරයක් සදහා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ගුවන්යානා අනතුර හේතුවෙන් අද නේපාලයේ ශෝක දිනයක්

නේපාලය මුහුණදුන් දරුණුතම ගුවන් අනතුරෙන් පසු අද දින (16) එරට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊයේ (15) උදෑසන නේපාලයේ සංචාරක නගරයක් වෙත පියාසර කරමින් තිබූ නේපාල ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එහි විදේශිකයන් 15 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු ඇතුළුව මගීන් 68 දෙනෙකු සිටි බවයි නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ.

එම විදේශිකයන් අතරට ඉන්දියානුවන් පස් දෙනෙකු, රුසියානුවන් හතර දෙනෙකු, දකුණු කොරියානුවන් දෙදෙනෙකු සහ අයර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ආර්ජන්ටිනාව සහ ප්‍රංශය යන රටවලින් එක් අයෙකු බැගින් සිට තිබෙනවා.

හෙළිකොප්ටරයේ විධායක සභා රැස්වීමක් අද

නිදහස් ජනතා සන්ධානයේ විශේෂ විධායක සභා රැස්වීමක් අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම සන්ධානයේ විධායක සභා රැස්වීම අද පස්වරු 6.00 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වෙන අතර එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් පක්ෂ අතර අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට නියමිත බව වාර්තා වනවා.

උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 12ක් එක්ව පසුගිය දා හෙළිකොප්ටරය ලකුණින් නිදහස් ජනතා සන්ධානය පිහිටුවීමට කටයුතු කළා.

ආහාරවලටත් මිල සූත්‍රයක් හඳුන්වාදෙන්න – අසේල සම්පත්

ඉන්ධන සඳහා හඳුන්වාදුන් ආකාරයේ මිල සූත්‍රයක් ආහාර සඳහාද හඳුන්වාදෙන ලෙස ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

මේ අවස්ථාව වන විට මිනිසුන්ට තුන්වේලට කෑම සඳහා භාණ්ඩවල මිල ගණන් අඩුවී ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එහි වාසිය ජනතාවට ලබාදීම සඳහා ආහාරවල මිල වැඩිවීම හෝ අඩුවීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදෙන ලෙසයි අසේල සම්පත් ආණ්ඩුවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

ශ්‍රී ලංකාවට ලකුණු 391 ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින තරගය අද Thiruvananthapuram හිදී මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 390 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි නොදැවී ලකුණු 166 ක්, Shubman Gill ලකුණු 116 ක් හා Rohit Sharma ලකුණු 42 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත හා ළහිරු කුමාර කඩුලු 2 බැඟින් බිඳ හෙලීමට සමත් වූ අතර චාමික කරුණාරත්න එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 391 ක්. ලකුණු පුවරුව පහතින්,

357e989b7169d53198f4088c0de7d034