කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම පෙබරවාරි මස 16 වන දින දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද (17) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

2006 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් අවභාවිතාව ලක් කළ බවට චෝදනා කරමින් අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

ආණ්ඩුව ප්‍රතිපත්තියක් ලෙස මුදල් අච්චු ගැසීම නවතා තිබෙනවා – බන්දුල ගුණවර්ධන

ප්‍රතිපත්තියක් ලෙස මේ වනවිට මුදල් අච්චු ගැසීම නවතා ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ හේතුවෙන් එදිනෙදා වියදම් දරාගැනීමට නොහැකිව විශාල අර්බුදයකට මුහුණදෙමින් ඇති බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

දෙසැම්බර් මාසයේ වියදම් දැරූ ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් විමසීමක් කළ බවත් ඒ අනුව එම මාසයේ බදු හා බදු නොවන ආකාරවලින් භාණ්ඩාගාරයට ලැබී ඇත්තේ රුපියල් බිලියන 141 ක් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව පරිපාලන වියදම් බිලියන 154 ක් වැයවී ඇති බවත් රුපියල් බිලියන 141 කින් බිලියන 154 ක් දරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් මේ වන විට මෙම තත්ත්වය කළමනාකරණය කිරීමට නොහැකි මට්ටමට පත්ව ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

 

විධායක රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ගෙවන දිනය පමා කිරීමට තීරණයක්

විධායක ශ්‍රේණියේ නොවන රජයේ සේවකයන්ගේ මාසික වැටුප් නියමිත දිනට ගෙවීමට සහ විධායක නිලධාරීන්ගේ වැටුප් දින කිහිපයකට පසුව ගෙවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබූ පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

2023 වසරේ රජයේ නව ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවත් එමඟින් ජනනය වන ආදායම් රැස්කිරීම සඳහා යම් කාලසීමාවක් ගතවන බැවින් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

1)

අඩු ආදායම්ලාභීන්ට දෙන මුදල් සහනය තවත් මාස 5කින් දීර්ඝ කෙරේ

අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදෙන මුදල් සහනය තවත් මාස 5 ක කාලයක් දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව මැයි මාසයේ සිට එළඹෙන සැප්තැම්බර් මාසය දක්වා එම මුදල ලබා දීමට තීරණය කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

නව සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ආරම්භ කරන තෙක් මෙම සහනය ලබාදීමට නියමිත බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

8e56da6bfb76737272cf11bd3e0c2669

දිස්ත්‍රික්ක කිහිපයකට අත ලකුණින් තරග කිරීමට ශ්‍රීලනිපය තීරණය කරයි

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අත ලකුණින් තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව උතුරු, නැගෙනහිර පළාත් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අත ලකුණින් තරග කිරීමටත්, කොළඹ, පුත්තලම, කුරුණෑගල, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා හෙලිකොප්ටරය ලකුණින් තරග කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

සෙසු දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සඳහා අත ලකුණ සහ හෙලිකොප්ටරය යන ලකුණු දෙකම භාවිත කරමින් මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංශ සඳහන් කළේ.

අඩු ආදායම්ලාභීන්ට මාස දෙකක් සහල් කිලෝ 10 බැගින් ලබාදීමට අනුමැතිය

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මේ සඳහා සහල් මෙට්‍රික් ටොන් 40,000ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් රජය විසින් වී මෙට්‍රික් ටොන් 61,600ක් පමණ මිලදී ගැනීම අවශ්‍ය බවයි සඳහන් වන්නේ.

මෙම වැඩසටන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සහයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ක්‍රියාවට නැංවීමට යෝජිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ දැනට පවතින ක්‍රමය භාවිතා කරමින් හඳුනාගත් සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන් අතර සහල් බෙදාදීමට නියමිත අතර කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරු සම්බන්ධීකරණය කරමින් ඔවුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කරන බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

d6a8463ab5403c8ab7d54d16e612db33

0a549670c4693b7128994a9a631480cf

අන්තරේ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

අන්තරේ විරෝධතාව විසුරුවාහැරීම සඳහා පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

අත්අඩංගුවේ සිටින එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.

වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අන්ත​රේ විරෝධතාවක

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස බල කරමින් ඔවුන් විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

මේ හේතුවෙන් තුන්මුල්ල හන්දිය දෙසින් බෞද්ධාලෝක මාවතට ප්‍රවේශ වෙන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවයි සඳහන් වන්නේ.

wasantha-mudalige-protest

අපේ පක්ෂයට තිබුණේ මතුපිටින් නිර්මාණය කරපු විරෝධතාවක් – සාගර කාරියවසම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව සමාජයේ ඇතිවූ විරෝධය මතුපිටින් නිර්මාණය කරන ලද විරෝධයක් පමණක් බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඒ අනුව මේ වන විට ජනතාව එම සත්‍ය තේරුම් ගනිමින් සිටින බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මෙවර මැතිවරණයේදී සමහර පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ද එම ලැයිස්තුවට ඇතුළත් කරන බවත් තවත් පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන අතර එම ලැයිස්තුව සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින්ද ඇතුළත් කරන බවද සාගර කාරියවසම් සඳහන් කළා.

ක්‍රිකට් ආයතන​ය ඉන්දියාව සමඟ තෙවැනි එක්දින තරඟ​ය පරාජය පිළිබඳව වාර්තාවක් ඉල්ලයි

ඉන්දියාව සමග පැවති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේදී අත්වූ පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරුට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අදාළ වාර්තාව දින 5ක ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කළ යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දී තිබෙන්නේ.

ඊයේ (15) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිරුවනන්පුරම් හි පැවති තෙවැනි එක්දින තරගය ලකුණු 317කින් ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර එක්දින ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් ලද විශාලම පරාජය ලෙසද වාර්තා පොත් අතරට එක් වුණා.