නානුඔය මාරක රිය අනතුරු පිළිබඳව පොලීසියෙන් නිවේදනයක්

ඊයේ (20) නානුඔය ප්‍රදේශයේ දී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම සිදුවීමේ පුද්ගලයින් 07 දෙනෙකු මිය ගිය අතර තවත් 53 දෙනෙකු තුවාල ලැබුවා.

අදාළ නිවේදනය පහතින්,

dbcd116efdf77df544982c7066811c07

නානුඔය අනතුරෙන් පුද්ගලයින් 7 ක් මරුට

බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අනතුරෙන් මේ වන විට පුද්ගලයින් 7 ක් මියගොස් තිබෙනවා.

එසේම අනතුරෙන් 41 ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 6 ක් හා ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.

පාසලක අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ දික් ඔය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් එකිනෙක ගැටී ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදු වුණා.

නානුඔය ප්‍රදේශයේදී බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී අනතුරක්

බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, පාසලක අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ දික් ඔය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් බවයි සඳහන් වන්නේ.

අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳ මේ වන තෙක් අනාවරණයවී නොමැති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම 3D චිත්‍රපටය තිරගත වීම අරඹයි

මෙරට නිෂ්පාදිත ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ (3D) චිත්‍රපටය වන “ගජමෑන්” අද දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ කර තිබෙනවා. හැත්තෑව දශකයේ ජනප්‍රිය කාටුන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ගජමෑන් කාටුන් චරිතය පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇති අතර, Motion Capture තාක්ෂණය යොදාගනිමින් සැබෑ නළු නිළියන්ගේ චලනයන් තාක්ෂණිකව ග්‍රහණය කරගනිමින් මෙහි කාටුන් චරිත සජීවීකරණය සිදු කර තිබීම විශේෂත්වයක්. මේ සඳහා හඬ නළු නිළියන් වශයෙන්, සුනෙත් සහ ගාමින්ද (චූටි මල්ලි සහ පොඩි මල්ලි), යුරේනි නොෂිකා, සුනිල් පෙරේරා සහ රෂී ප්‍රබෝධා දායක වී ඇති අතර, චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ චානක පෙරේරා විසින්.

 

බිත්තරයක උපරිම මිල පාලනය කෙරේ

බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44 ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46 ක් ලෙස අදාළ ගැසට් නිවේදනය මඟින් මිල නියම කර ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළ කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය ‍විදේශ අමාත්‍යවරයා අතර හමුව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සමාජයීය කරුණු රැසක් පිළිබඳ මෙන්ම ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු පිළිබඳ ද විශේෂ අවධානයක් යොමු වූ අතර ඒ පිළිබඳ ඉන්දීය රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් පළ වූ බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

01

02

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිසමට දැනුම්දෙයි

මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී තිබෙනවා. ඒ අනුව මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇති බවයි සඳහන් වන්නේ. මුජිබර් රහුමාන් මහතාගේ ලිපියට අනුව ඉහත ඉල්ලා අස්වීම 2023 ජනවාරි 20 වැනිදා සිට බල පැවැත්වෙන බවද මහ ලේකම්වරයා දන්වා තිබෙනවා.

සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට තීරණය කරයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (21) දිනයේ පස්වරු 4.00 ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී අවසන් කටයුතු සිදු කෙරෙන බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

fb893d35e8e8b4152dbb8be95dd0bcac

මැතිවරණයට අවශ්‍ය මුදල් සොයාගැනීම දැඩි අභියෝගයක් – මුදල් අමාත්‍යංශ ලේකම්

රාජ්‍ය ආදායම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඡන්දයට අවශ්‍ය මුදල් සොයා ගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් විය හැකි බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා. රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙම අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ රීට් පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව රාජ්‍ය වැටුප් ගෙවීමට පවා අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් රාජ්‍ය සේවක වැටුප් කොටස් දෙකකින් ගෙවීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල යෝජනාවක්ද සම්මත කරගෙන ඇති බවද දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබෙනවා. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පවා මුදල් වෙන් කිරීම අපහසු තත්ත්වයක් නිර්මාණය වී තිබියදී මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම මහා භාණ්ඩාරයට දැඩි අභියෝගයක් වනු ඇති බවද, ඒ හේතුවෙන් මෙරට ආර්ථික තත්ත්වය වඩාත් අයහපත් තත්ත්වයට පත්වනු ඇති බවද මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සිය දිවුරුම් ප්‍රකාශයෙන් සඳහන් කර තිබෙනවා.

සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරීව දායක විය යුතුයි – එස්. ජයිශංකර්

ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරීව දායක වියයුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් පවසනවා.

කොළඹ දී පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට අවස්ථාව ලබාදීම සඳහා ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය මූල්‍ය සහතිකය ලබාදුන් බවයි.

එසේම බලශක්තිය, සංචාරක ව්‍යාපාරය සහ යටිතල පහසුකම් වැනි මූලික ක්ෂේත්‍රවල ශ්‍රී ලංකා ආර්ථිකයේ වැඩි ආයෝජන සඳහා ඉන්දියාව කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් මැතිවරණ කඩිනමින් පැවැත්වීම යන කාරණා බලය බෙදීම සහ ස්ථාවරත්වය සඳහා ඉතා වැදගත් බවද ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළා.