මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.

ඒ අනුව ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධූරය සඳහා තරග කරන බවයි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ.

මැතිවරණ වියදම් නියාමනය පනත සම්මත වෙයි

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (19) දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතවී තිබෙනවා. ඒ අනුව මෙම පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 97ක් සහ විරුද්ධව ඡන්ද 36ක් හිමිවී ඇති බවයි සඳහන් වන්නේ.

පාසල්වල තෙවන වාරයේ 02 වන අදියර හෙටින් අවසන් වෙයි

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ 02 වන අදියර හෙට (20) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ 02 වන අදියර පෙබරවාරි 06 වන සඳුදා දින අවසන් වන අතර සියලුම පාසල්වල තෙවන වාරයේ 03 වන අදියර පෙබරවාරි 20 වන සදුදා දින ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට පැමිණෙයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් දිවයිනට පැමිණ තිබෙනවා. දෙදින නිල සංචාරයක් සඳහා ඔහු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම සංචාරය තුළදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් හමුවීමට නියමිතව තිබෙනවා.

සතොස භාණ්ඩ 12 ක මිල පහළ දමයි

අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස ආයතනය පවසනවා.

ඒ අනුව අද සිට එම මිල අඩු කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

12c8d26b196a89c826ac46ef043f7fd5

ගේම් වලින් බලයේ ඉන්න හද​න අය ඉතිහාසයේ කුණු කූඩයට වැටෙනවා – අනුර

ව්‍යවස්ථාවේ ඇති වගන්ති යොදා ගනිමින් විවිධ වූ සට කපට නීති ඇති කර, ශිෂ්ට සම්පන්න සම්ප්‍රදාය මුලුමනින්ම ඉවත්කර, තමන්ගේ පාලන බලය දීර්ඝ කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම්, ජනතා නැගිටීම් හමුවේ එය කළ නොහැකි බව මතක තබාගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ගේම්වලින් බලයේ රැඳී සිටීමට උත්සාහ කරන ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන බවත්, ගේම්වලින් බලයේ සිටින අගමැති ප්‍රමුඛ ආණ්ඩුව අනිවාර්යෙන්ම ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.

ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තියක්

ඉන්ෆ්ලුවෙන්සා රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව ඉන්ෆ්ලුවෙන්සා A වෛරස ප්‍රභේදය දිවයින පුරා පැතිරගොස් ඇති බවට සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

දිවයින පුරා රෝහල් 19 ක බාහිර රෝගී අංශවලට පැමිණෙන රෝගීන්ගෙන් ලබාගත් සෙම පටල පරික්ෂාවේදී මේ බව තහවුරු වී තිබෙනවා.

මේ වන විට වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ කුරුණෑගල, පොළොන්නරුව, හලාවත, රාගම හා දකුණු කොළඹ ශික්ෂණ රෝහල්වලින් බවයි සඳහන් වන්නේ. ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ රෝග ලක්ෂණ ලෙස උණ, ඇඟපත වේදනාව, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම, සෙම්ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුතාව පවතින අතර එම රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උප‍දෙස් ලබා ගන්නා ලෙසයි වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කළේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණ තර්ජන කරලා – පැෆරල් සංවිධානය

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට ඉවත් වන ලෙස මරණ තර්ජන එල්ලවී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත් කර ඇති බවටද වාර්තා වී ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මෙය ඉතා බරපතළ කරුණක් බවත් මෙය මැතිවරණය කල් දැමීමේ උපක්‍රමයේ එක් කොටසක් ලෙස දකින බවයි ඔහු සඳහන් කළේ.

මැතිවරණ කොමිෂන් සභාවට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩකඩ සකස් කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවට බවයි පැෆරල් සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.

පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙයි

නව අමාත්‍යවරුන් දෙදෙනෙකු මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පවිත්‍රා වන්නිආරච්චි ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දී තිබෙනවා.

එසේම ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යරයා ලෙස ජීවන් තොණ්ඩමන් දිවුරුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මහින්ද අමරවීර අමාත්‍ය ධූරයකින් ඉල්ලා අස්වෙයි

අමාත්‍ය මහින්ද අමරවීර වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයාට වෙනත් අයෙකු පත්කිරීමට අවස්ථාව සලසමින් තමා මෙලෙස වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ කටයුතු කරන බවයි සඳහන් වන්නේ.