2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා – ජනපති

පරිසරය සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී සැලැස්ම මේ වන විටත් සකස් කරමින් සිටින අතර වසර 2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ශ්‍රී ලංකාව අපේක්ෂා කරන හරිත ආර්ථිකය, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙන් ළඟා කර ගත හැකි බව “හරිත වර්ධන මාවතකට ශ්‍රී ලංකාව ගෙන යාම වේගවත් කිරීම සඳහා වූ උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවට” එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළා.

අද මේ සිදුකරන්නේ හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමේ කටයුත්තට මුල් පියවර තැබීමක් බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.

 

ඒරන් ෆින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

ඔස්ට්‍රේලියානු T20 කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච් T20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

36 හැවිරිදි ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්දින ක්‍රිකට් පිටියෙන්ද සමු ගැනීමට තීරණය කර තිබුණා.

ජාත්‍යන්තර තරග 254 ක් ක්‍රීඩා කර ඇති ෆින්ච් එහිදී ලකුණු 8,804 ක් රැස් කළ අතර, ඊට ශතක 19 ක් හා අර්ධ ශතක 51 ක් ඇතුළත් වනවා. 2021 වසරේ T20 ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා වූ ඒරන් ෆින්ච් මේ වන විට තරග 76 කට නායකත්වය ලබාදී තිබෙනවා.

T20 ජාත්‍යන්තර පිටියේ දී ෆින්ච් ලකුණු 3,120 ක් ලබා ඇති අතර, එය ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවාර 20 ජාත්‍යන්තර තරගවලදී පිතිකරුවෙකු ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාවද වනවා.

තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන හැකි ඉක්මනින් දැනුම්දෙන්න – තුර්කි තානාපතිනිය

දැනට තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙස තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

ඒ අනුව ඔවුන් සොයා ගැනීම පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශයේ කන්සියුලර් අංශයට හෝ තානාපති කාර්යාලයට දැනුම් දෙන ලෙසයි ඇය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

මේ අතර ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු වෙතොත් දැනුම්දීමට සහ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ විමසීම සඳහා පහත දුරකථන අංක හරහා තුර්කි තානාපති කාර්යාලය හා සම්බන්ධ කර ගැනීමේ හැකියාව පවතිනවා.

අදාළ දුරකථන අංක පහතින්,

* 00903124271032
* 00905344569498

තුර්කියට ආධාර කිරීමට 300ක හමුදා කණ්ඩායමක් යෙදවීමට සූදානම් – විදේශ ඇමති

ඉල්ලීමක් සිදුකළහොත් තුර්කියට ආධාර ලබා දීමට ශ්‍රී ලංකාව සූදානම් බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

ඒ අනුව 300කගෙන් යුත් හමුදා කණ්ඩායමක් යෙදවීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම හමුදා කණ්ඩායම සඳහා වෛද්‍ය සහ ඉංජිනේරු බළකායේ සෙබලුන් ඇතුළත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කරයි

විශාල සේවක පිරිසක් සහිතව දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන එච්.ටී. කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව ජනාධිපතිවරයා විසින් පත්කර තිබූ අතර එම කමිටුවේ නිර්දේශ මත ව්‍යාපෘති කාර්යාල 32ක් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එසේම ව්‍යාපෘති කාර්යාල 46ක් අවම සේවක පිරිසක් යටතේ පවත්වාගෙන යෑමටත් අදාළ කමිටු වාර්තාව මගින් නිර්දේශ කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කැබිනට් මණ්ඩලයේ දී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වූ බවත් එහිදී අමාත්‍යවරුන්ගේ ඉල්ලීම මත තව දුරටත් මෙම කාර්යාල 55ම වසා දමන්නේ ද යන අවසන් තීරණය ඉදිරියේදී ගැනීමටත් ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

68306b896914354369f057532f821c21

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

ව්‍යවස්ථාදායක සභාව අද (07) යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

එහිදි කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරිමේ නව ක්‍රමවේදය පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

පෙබරවාරි මස පළමු වැනිදා සිට පෙබරවාරි මස 15 වනදා දක්වා කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට මීට පෙර තීරණය කළා.

තුර්කියේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 3,800 ඉක්මවයි

දකුණු තුර්කිය ප්‍රදේශයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 3,800 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තුර්කියේ අවම වශයෙන් පුද්ගලයින් 2,379 ක් මිය ගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි තුර්කි ආපදා සහ හදිසි කළමනාකරණ ඒජන්සිය සඳහන් කළේ.

අසල්වැසි සිරියාවේ අවම වශයෙන් පුද්ගලයින් 1,136 දෙනෙකු මියගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත. මේ වන විටත් සුන්බුන් අතර සිරවූ පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය එරට වේලාවෙන් ඊයේ (6) අලුයම 4.00 ට පමණ සිදුව තිබූ අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීම හෙට

නව වැනි පාර්ලිමේන්තුවේ සිව් වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (08) විවෘත කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් පෙරවරු 10.00ට පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පවත්වා ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

බදු වලට එරෙහිව 08 වනදා දැවැන්ත විරෝධතාවක් පවත්වනවා – වෘත්තීය සමිති

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම මස 08 වනදා දැවැන්ත විරෝධතාවයක් සහ වැඩ වර්ජනයක් පැවැත්වීමට සැලසුම්කර ඇති බව වෘත්තිය සමිති පවසනවා.

ඒ අනුව අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් එදිනට ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ සභාපති ප්‍රසංග මැදවත්ත සඳහන් කළා.

එයින් පසුව රජයෙන් පිළිතුරු නොලැබුණහොත් සමස්ත සේවකයින්ම මහා වැඩ වර්ජනයකට යොමු වන බවයි එම වෘත්තීය සමිති අවධාරණය කළේ.

භූ කම්පනය සිදු වූ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙක් සිට තිබෙනවා – තුර්කියේ ශ්‍රී ලංකා තානාපති

භූ කම්පනය සිදු වූ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙක් සිට ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති උරුගොඩවත්ත පවසනවා.

ඔවුන් අතරින් 8 දෙනෙකු මේ වන විට සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබුණු බවයි මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඇය සඳහන් කළේ.

කෙසේ නමුත් එක් අයෙකු කඩා වැටීමට ලක්වූ ගොඩනැගිල්ලේ සිටියේ යැයි සලකනු ලබන බවත් සිදුවීම වන අවස්ථාවේ ඔහු එහි සිට නොමැති බවට සැක පළකරන බවත් තවදුරටත් ඔහු සම්බන්ධයෙන් තොරතුරු සොයමින් පවතින බවයි තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති උරුගොඩවත්ත වැඩිදුරටත් සඳහන් කළේ.