තුර්කියේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1,300 දක්වා ඉහළට

දකුණු තුර්කිය ප්‍රදේශයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 1,300 කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව සිරියාවේ රජය විසින් පාලනය කරන ලද ප්‍රදේශවල අවම වශයෙන් පුද්ගලයින් 326 දෙනෙකු මියගොස් ඇති අතර තුර්කියේ අවම වශයෙන් පුද්ගලයින් 912 දෙනෙකු ද මිය ගිය බව තුර්කි ජනාධිපතිවරයා පවසනවා.

මේ වන විටත් සුන්බුන් අතර සිරවූ පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර සිද්ධියෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

08 වනදා පෞද්ගලික අංශයේ ප්‍රතිකාර සේවාවලින් ඉවත්වීමට වෛද්‍යවරුන් තීරණය කරයි

එළඹෙන 08 වනදා පෞද්ගලික අංශයේ සිදුකරන ප්‍රතිකාර සේවාවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.

ඒ අනුව පෞද්ගලික අංශයේ සිදුකරන එදිනෙදා සාමාන්‍ය සේවා 08 වනදා දිනය තුළ සිදු නොවන බවත් හදිසි ප්‍රතිකාර සේවා පමණක් සිදුකරන බවයි අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

කෙසේ නමුත් හෙට (07) පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.

අසාධාරණ බදු සංශෝධනය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් තවමත් පිළිගත හැකි පිළිතුරක් ලැබී නොමැති බවයි වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.

ඉදිරියේදී අනිවාර්යයෙන් බිත්තර ආනයනය කිරීම සිදුකරනවා – වෙළෙඳ ඇමති

ඉදිරියේදී අනිවාර්යයෙන් බිත්තර ආනයනය කිරීමට සිදුවන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඉදිරි උත්සව සමයේ ඇතිවිය හැකි බිත්තර හිඟය මගහැරීම සඳහා මෙම පියවර ගැනීමට සිදුවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

බිත්තර මිල තවත් අඩුවට ලබාදීමේ හැකියාව පාරිභෝගික අධිකාරියට ඇති බවයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.

දර්ශන හඳුන්ගොඩට ඇප

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අද (06) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව ඔහු අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබාදීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

ගෑස් මිල වැඩි කළත් ආහාර මිල ඉහළ දමන්නේ නැහැ – ආපන ශාලා හිමියන්

ගෑස් මිල ඉහළ දැමුව ද ආපනශාලාවල ආහාර මිල ඉහළ දැමීමක් සිදු නොකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ, රුපියල් 334 කින් ගෑස් මිල වැඩි වුවද ආපනශාලා පද්ධතිය තුළ ආහාරපාන කිසිවක මිල ගණන් ඉහළ දැමීමට කටයුතු නොකරන බවයි.

කෙසේ නමුත්, විදුලි බිල වැඩිවීමක් සිදුවුවහොත් ආහාර පානවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බැන් කී මූන් දිවයිනට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් සහ වත්මන් ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ සභාපති බැන් කි මූන් දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු අද (06) අලුයම 2.00 ට පමණ සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 309 දරණ යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි බවයි සඳහන් වන්නේ.

ජනපති රනිල් හා හිටපු ජනපති ගෝඨාභය ගංගාරාමයේදී හමුවෙයි

ගංගාරාම නවම් මහා පෙරහැර මෙවරත් ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

මේ අවස්ථාව සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද එක්ව සිට තිබෙනවා.

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

දකුණු තුර්කිය ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Gaziantep පළාතේ ආණ්ඩුකාර Davut Gul Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, භූ කම්පනය සිය නගරයට තදින්ම දැනුණු බවයි.

භූකම්පනය හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර තවත් පිරිසක් සිරවී සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

බදු ගැන සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයෙන් වෘත්තිකයින්ට ආරාධනයක්

නව බදු සංශෝධනවලට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මෙම සතිය තුළ තීරණය කරන බව වෘත්තියවේදීන්ගේ, වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

ඒ අනුව එම ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් ද හෙට (07) දිනයේ පැවැත්වෙන බවයි එහි සාමාජික රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

කෙසේ නමුත් නව බදු සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් වෘත්තිකයින්ගේ, වෘත්තිය සමිති එකමුතුව ඉකුත් සතියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ අතර ඒ අනුව අද දිනයේදී සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයෙන් කැඳවීමක් ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ගොයම් ගස් කහවෙන රෝගය නිසා හාල් හිඟයක් ඇතිවන්නේ නැහැ – කෘෂිකර්ම අමාත්‍යාංශය

වී වගාවට අවශ්‍ය පෝෂක නිසි පරිදි නොලැබීම නිසා ගොයම් ගස් කහ පැහැගැන්වීමේ රෝගය මතුව ඇතැයි ක්ෂේත්‍ර පරීක්ෂාවේදී අනාවරණ වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

ගොයම් ගස් කහ පැහැ වන නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගය පසුගිය කාලය පුරාම බොහෝ ප්‍රදේශවලින් වාර්තා වූ අතර සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව අනාවරණය වී ඇත්තේ, වී වගාවට අවශ්‍ය පෝෂක නිසි පරිදි නොලැබීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බවයි.

කෙසේ නමුත් මෙම තත්ත්වය හේතුවෙන් මෙම වසරේ හාල් හිඟයක් ඇති නොවන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, පී. මාලතී සඳහන් කළේ.