වෘත්තීය සමිති විරෝධතා පා ගමන කොළඹ කොටුව​ට

වෘත්තීය සමිති කිහිපයක විරෝධතා පා ගමනක් මේ වන විට කොටුව දුම්රියපොළ දක්වා ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වරාය, විදුලිබල, ඛනිජ තෙල් සේවකයින් මෙලෙස කොටුව දුම්රියපොළ ඉදිරිපිට එක්වෙමින් ඇති බවයි සඳහන් වන්නේ.

විරෝධතාව හේතුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක රථ වාහන ගමනාගමනය සීමා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

බදු ප්‍රතිපත්තියට එරෙහිව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විරෝධතාවක

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ විරෝධතාවක් මේ වන විට පැවැත්වෙනවා.

මේ හේතුවෙන් කොළඹ කොටුවේ ලෝටස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සීමා කර ඇති බවයි සඳහන් වන්නේ.

රාජාසන මේනියාව කියමින් විපක්ෂයෙන් ජනපතිට විරෝධයක්

ජනාධිපතිවරයා රාජාසන කතාව පැවැත්වීමට පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසෙන අවස්ථාවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය දක්වා තිබෙනවා.

ඒ අනුව “රාජාසන මේනියාව” ලෙස සඳහන් කරමින් මෙලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භයෙන් පිටතට ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

පොල්දූව මංසන්ධියේදී පොලීසිය හා භික්ෂූන් වහන්සේලා අතර උණුසුම් තත්ත්වයක්

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයට එරෙහිව මහා සංඝරත්නය විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබෙනවා. මෙම සමුළුව සඳහා 5,000 කට ආසන්න ස්වාමීන් වහන්සේලා පිරිසක් කොළඹ දියත උයන ඉදිරිපිට ඇති සිරි පැරකුම්බා පිරිවෙනට වැඩම කරන බවයි ත්‍රෛනිකායික භික්ෂු එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ. විරෝධතා පාගමන පාර්ලිමේන්තු පාරේ පොල්දූව මංසන්ධියට පැමිණි අවස්ථාවේදී භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසට ඉදිරියට යාමට පොලිසිය විසින් බාධා කළ අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

13 ට විරෝධය පා භික්ෂූන් වහන්සේ 5,000 ක් අද කොළඹට

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් සඟ සමුළුවක් පැවැත්වෙන බව ත්‍රෛනිකායික භික්ෂු එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනවා.

මෙම සමුළුව සඳහා 5,000 කට ආසන්න ස්වාමීන් වහන්සේලා පිරිසක් කොළඹ දියත උයන ඉදිරිපිට ඇති සිරි පැරකුම්බා පිරිවෙනට වැඩම කරන බවයි උන්වහන්සේ සඳහන් කළේ.

බෙදුම්වාදී රේඛාවකින් වෙන් කරන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන ලෙස මෙහිදී ආණ්ඩුවට බල කර සිටින බවයි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.

තුර්කියේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 7,800 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ විනාශකාරී භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 7,800 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සුන්බුන් අතර සිරවූ පිරිස් සොයා තවදුරටත් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය පසුගිය 06 වැනිදා එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ සිදුව තිබූ අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා තිබෙනවා.

විදුලිබල මණ්ඩලයට එරෙහි මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ල කැඳවයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අපහාස කළේ යැයි එම කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (07) සලකා බලා තිබෙනවා.

ඒ අනුව එය විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය ප්‍රකාශ කිරීම පසුවට කල් තැබීමට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කර තිබෙනවා.

අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ විදුලිය කප්පාදු නොකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කළ විධානයක් උල්ලංඝනය කිරීම තුළින් අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් එම කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

වසන්ත මුදලිගේගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

බොරු සාක්ෂි නිර්මාණය කරමින් තමන්ව අත්අඩංගුවට ගත්තේ යැයි පවසමින් වසන්ත මුදලිගේ පොලිස් මූලස්ථානයට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව නිශ්චිත නිලධාරීන් පිරිසකට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවත්, මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි ඔහු සඳහන් කළේ.

හෙට වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක

හෙට (08) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ රට තුළ පවතින ඖෂධ හිඟයට රජය නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළකරමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් වීරසිංහ සඳහන් කළේ.

වර්ජන කාලසීමාව තුළදී හදිසි ප්‍රතිකාර සේවා සීමා කිරීමක් සිදු නොකරන අතර හදිසි සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණ කොමිසම් සාමාජිකයාගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියි

මැතිවරණ කොමිසමේ සාමාජික පී එස් එම් චාර්ල්ස් විසින් යොමුකරන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පිළිගෙන තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම තීරණය ඇය වෙත දැනුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.