ජනපති මැදුරෙන් හමුවූ මුදල් තමාගේ බව ගෝඨාභය පිළිගනියි

අරගලයේ නිරත වූවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලීසියට භාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ පනස්දහසක මුදල තමාගේ මුදල් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ලබාදුන් ප්‍රකාශය මඟින් අනාවරණය කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08) කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවේ සඳහන් කර තිබෙනවා.

එම මුදල් රටේ අසරණ ජනතාවට බෙදාදීමට සූදානම් කර තිබූ මුදල් බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සඳහන් කර ඇති බවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

එබැවින් මේ වනවිට අධිකරණය භාරයේ ඇති එම මුදල් හිටපු ජනාධිපතිවරයා වෙත භාරදීමට නියෝගයක් කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.

කෙසේ නමුත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න ඊට විරෝධය පළ කරමින් සඳහන් කළේ, අදාළ මුදල් හිටපු ජනාධිපතිවරයා උපයා ගත් ආකාරය හෝ ඒවා ඔහුට ලැබුණු ආකාරය ඔහු ලබා දුන් ප්‍රකාශ අනුව අනාවරණය කර නොමැති අතර ඒ පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ හෝ අල්ලස් පනත යටතේ විමර්ශනයක් ද සිදු කර නොමැති බවයි.

A.H.M. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

A.H.M. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා A.H.M. ෆවුසි පත් කර තිබුණා.

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් 4 දෙනෙකු නිට්ටඹුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ඔවුන් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ. අදාළ මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් ක්‍රීඩා ඇඳුමින් සැරසී සිට ඇති අතර ඔවුන් පොලිස් නිලධාරීන් නොවන බවට හඳුනාගෙන ඇත. සැකකරුවන් සතුව තිබී අත්විලංගු යුවළක් සහ ව්‍යාජ අංක තහඩු 3 ක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් 25, 26, 27 සහ 42 වයස්වල පසුවන අය වනවා. ඔවුන් මුල්ලේරියාව, ගිංතොට හා එල්ලක්කල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදය අද (09) පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. ඒ අනුව අද උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි. 09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ඊයේ (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

වෛද්‍යවරුන්ගේ සංකේත වැඩ වර්ජනය අද අවසන් වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කළ පැය 24 ක සංකේත වැඩ වර්ජනය අද (09) උදෑසන 8.00 ට අවසන් වන බව එම සංගමය පවසනවා. රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ රට තුළ පවතින ඖෂධ හිඟයට රජය නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළකරමින් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බවයි එම සංගමය සඳහන් කළේ. මෙම වැඩ වර්ජනය ඉතා සාර්ථක වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

තුර්කියේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 11,000 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ විනාශකාරී භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 11,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව තුර්කියේ මරණ 8,574ක් සහ සිරියාවේ මරණ 2,662ක් ලෙස සමස්ත මරණ 11,236ක් බලධාරීන් විසින් මේ වන විට තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය පසුගිය 06 වැනිදා එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ සිදුව තිබූ අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා තිබෙනවා.

විදුලි කප්පාදුවට එරෙහි පෙත්සම විභාගයට ගැනීම ගැන තීරණය 10 වනදා

මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද ? නැද්ද ? යන තීරණය මේ මස 10 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය දැනුම්දී තිබෙනවා.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් මෙම රීට් පෙත්සම ගොනුකර තිබුණා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තු​වේ නව සැසිවාරය ආරම්භයෙන් පසු තේ පැන් සංග්‍රහයක්

09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ කිරීම අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

ඒ අනුව 09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහය සඳහා ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.

අත්‍යාවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයීමට ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්

රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වන තෙක් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේ අරමුණින් අත්‍යාවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.

රජයේ කටයුතු සඳහා පෙර සිදු කළ පරිදි අරමුදල් නිකුත් කිරීම ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා සැපයීමේ කාර්යයට මේ මොහොතේ අහිතකර ලෙස බලපාන අතර එය රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට ද බාධාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට ද පසුගියදා කටයුතු කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වැටුප් මත බදු අයකිරීමේදී පෞද්ගලික ප්‍රතිලාභ සලකා බලන සීමාවන් සංශෝධනය කෙරේ

වැටුප් මත බදු අය කිරීමේදී පෞද්ගලික ප්‍රතිලාභ සලකාබලන සීමාවන් සංශෝධනය කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව නිවාස සඳහා දැනට රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබන පුද්ගලයින්ගෙන් රුපියල් 20,000 ක් හෝ මුළු වැටුපෙන් 12.5% ක් ලෙස සහ රුපියල් ලක්ෂ දෙකට වඩා ආදායම් ලබා ගන්නා පුද්ගලයින්ගෙන් රුපියල් 40,000 ක් හෝ වැටුපෙන් 12.5% ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් 12.5% ක් ලෙස සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා. ගෘහ භාණ්ඩ වෙනුවෙන් වූ රුපියල් 5,000 හෝ වැටුපෙන් 2.5% ක ප්‍රතිලාභයද චක්‍රලේඛයෙන් ඉවත් කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ. එසේම වාහන සඳහාද ඇන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1800 ට අඩු සහ වැඩි ලෙස පිළිවෙලින් රුපියල් 50,000 සහ 75,000 ලෙස සැලකූ ප්‍රතිලාභය වාහනය සඳහා රුපියල් 20,000 ක්, රියදුරු සඳහා රුපියල් 10,000 ක් සහ ඉන්ධන සඳහා රුපියල් 20,000 ක් ලෙස සංශෝධනය කර ඇති බවද සඳහන්. මේ අතර 100% ක් බද්දට යටත් වූ දුරකථන දීමනාවෙන් 25% ක් පමණක් ප්‍රතිලාභ ලෙස නව සංශෝධන මඟින් සලකන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.