වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් සිදුවෙයි

අද (11) අළුයම 3.48 පමණ වැල්ලවාය නගරයට නැගෙනහිර දෙසින් තවත් භූ චලනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

රිච්ටර් පරිමාණය 2.3ක් වූ මෙම භූ චලනය බරපතළ තත්ත්වයක් නොවන බවත් එබැවින් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බවයි එම කාර්යාංශය අවධාරණය කර සිටියේ.

ඊයේ (10) දිනයේ දී බුත්තල, වැල්ලවාය ප්‍රදේශයෙන් රිච්ටර් පරිමාණය 3.5ක් වූ භූ කම්පනයක් වාර්තා වුණා.

බලශක්තිය, ගමනාගමනය, ජලය හා විදුලිය කිසිම රටක සහනාධාර ලෙස දෙන්නේ නැහැ – එස්.බී

බලශක්තිය, ගමනාගමනය, ජලය හා විදුලිය කිසිම රටක සහනාධාර ලෙස දෙන්නේ නැති බවත් ඊට අදාළ වියදම ජනතාවට දරාගන්න ලෙස අදාළ රටවල් නිර්දේශ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසනවා.

පවතින ආර්ථික අර්බුදයත් එක්ක මේ පවතින වියදම් දරා ගැනීමට නොහැකි වුණත් එය අමාරු වුණත් දරා ගැනීමට වෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. ලක්ෂ 30න් එහාට බදු ගහපු එක මාසෙකට ලක්ෂය දක්වා අඩු කිරීමේ දී ඒක ජනතාවට අමාරු බවත් නමුත් මෙම අමාරුකම් දරා ගන්නේ නැතුව කවදාවත් රටක් විදිහට නැඟිටීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

හැමදාම තවත් රටකට හරි, ආයතනයකට හරි ණය වී රටක් විදිහට ඉස්සරහට යාමට නොහැකි බවත්, රටක් ලෙස ශ්‍රී ලංකාවට හොඳටම අමාරු බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා කියා සිටියේ වියදම් දරා ගැනීමට පුරුදු විය යුතු බවයි.

විදුලි බිල, ජල බිල දරා ගන්න අමාරුයි නම් ඒවා අඩුවෙන් පාවිච්චි කරන්න පුරුදු විය යුතු බවත් ජාතික පුවත්පතකට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Woman T20 World Cup : ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පළමු ජය හිමිවෙයි

කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඊයේ (10) දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වුණා. ඒ අනුව පළමු තරඟය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතරයි.

මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 04ක් දැවී ලකුණු 129ක් රැස් කළා. එහිදී නායක චමරි අතපත්තු ලකුණු 68ක් රැස් කරගත් අතර විශ්මි ගුණරත්න ලකුණු 35ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ද.අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ෂබ්නිම් ඉස්මයිල්, මර්සාන් කැප් සහ නඩීන් ද ක්ලාක් විසින් කඩුල්ල බැගින් බිඳ දැම්මා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ රැස් කරගැනීමට හැකිවුණේ කඩුළු 09ක් දැවී ලකුණු 126ක් පමණයි. එහිදී නායක සුනේ ලූස් විසින් ලකුණු 28ක් රැස් කළා.

පන්දු යැවිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝකා රණවීර කඩුළු 03ක් සහ සුගන්ධිකා කුමාරි සහ ඕෂධී රණසිංහ කඩුළු 02ක බැගින් බිඳ දැම්මා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 03ක තියුණු ජයග්‍රහණයක් හිමි වූ අතර තරඟයේ වීරයා ලෙස චමරි අතපත්තු පත්වුණා.

ජනප්‍රිය තීරණ විතරක් ගත්තොත් රට දියුණු වෙන්නේ නෑ – ජනපති

ආර්ථික කඩා වැටීම හමුවේ ජනතාව මුහුණ දී සිටින දැඩි අසීරුතාව සහ බදු වැඩි කිරීම නිසා ඇති වූ දුෂ්කරතාව තමා දන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඇතැම් අයගේ වැටුපෙන් බදු හා ණය ගෙවූ පසු ඉතුරු වන්නේ ඉතා සුළු මුදලක් බවත් මේ දුෂ්කරතාව දරාගන්න සිදුවන්නේ තව ඉතා ටික කාලයක් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ආණ්ඩුව මේ තීරණ නොගත්තොත් අද රට මේ තත්ත්වයේ තිබෙන්නේ නැති බව අවධාරණය කරන ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරියේ දී රට පිළිබඳ සිතා තීරණ ගැනීමට සියලු දේශපාලන නායකයින් කැපවනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

ආණ්ඩුවටත් ජනප්‍රිය තීරණ ගත හැකි බව පවසා සිටි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනප්‍රිය තීරණ විතරක් ගත්තොත් රට දියුණු නොවන බවයි.

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ

මෙරට රාජ්‍ය සේවයේ නිරතව සිටින උපාධිධාරීන් ගුරු සේවයට එක් කරගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන යටතේ තරඟ විභාගයන් සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි 17 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

a3445204731d0eb505d971bf3b193cb4

මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය සහ එහි සභාපතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිකුත් කළ විධානයක් උල්ලංඝනය කිරීම තුළින් එම කොමිසමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් එම කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

පළාත් පාලන මැතිවරණයට එරෙහි පෙත්සමක් සලකා බැලීම කල් යයි

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම ලබන 23 දා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් මෙම පෙත්සම ගොනුකර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ඇතුළු සාමාජිකයන්, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

මිට්සුබිෂි සමාගම ලංකාවේ මෙහෙයුම් නතර කිරීමට තීරණය කරයි

ජපාන ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළ සන්නාමයක් වන මිට්සුබිෂි සමාගම මෙරට සිදුකරන මෙහෙයුම් කටයුතු ලබන මාර්තු මාසයේදී අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ අහිතකර ආර්ථික දැක්ම මිට්සුබිෂි සමාගම වසර හැටකට පසු ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට හේතුවී ඇති බවයි සඳහන් වන්නේ.

ඊට අමතරව ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය ඇතුළු ජපාන නව ව්‍යාපෘති යෝජනා හදිසියේ අවලංගු කිරිම ද මිට්සුබිෂි සමාගමේ මෙහෙයුම් කටයුතු අවසන් කිරිමට හේතුවී ඇති බවයි සඳහන් වන්නේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදෙයි

මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇති පරිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ගොනුකළ රිට් පෙත්සම් දෙකක් අද කැදවු අවස්ථාවේ දී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

මහජන උපයෝගිතා කොමිසමේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

විදුලි කප්පාදුවට එරෙහිව මහජන උපයෝගීතා කොමිසම විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණා.

අදාළ පෙත්සම දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව අද (10) දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.