මැතිවරණය කල් දැමීමට සහාය දෙන රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ජී.එල්. පීරිස්

මැතිවරණය කල් දැමීමට සෘජුව හෝ වක්‍රව සහාය දෙන සියලු රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

ඒ අනුව නීතිය යටතේ පනවා ඇති දඬුවම් ක්‍රියාත්මක කරන තැනට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලි ගාස්තු සංශෝධනය නීතියට පටහැනියි – ජනක රත්නාය​ක

විදුලි ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය ලබාදීම විදුලිබල පනතේ 30 වන වගන්තියට පටහැනි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඒ අනුව සෙසු සාමාජිකයන් මෙවැනි නීති විරෝධී තීරණයක් ගනු ලැබුවේ දේශපාලන අධිකාරියේ, ලංකා විදුලිබල මණ්ඩලයේ හා විදුලිබල අමාත්‍යංශයේ නිලධාරීන්ගේ බලපෑම්වලට යටත්ව බවයි ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ.

පාඩු ලබන විදුලිබල මණ්ඩලයේ අලාභය පියවා ගැනීම, ඉදිරියේදී වැඩි මිලක් ගෙවා ගල් අඟුරු සහ ඉන්ධන ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම ගාස්තු සංශෝධනය නීතියට පටහැනි බවත් ඉදිරියේදී අවශ්‍ය නීතිමය පියවර ගෙන මෙම අත්තනෝමතික ලෙස වැඩිකරනු ලැබූ විදුලි ගාස්තු සංශෝධනය නතර කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

අද සි​ට විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතර අනුමැතිය

රුපියල් බිලියන 287 ක අමතර ආදායමක් විදුලි බල මණ්ඩලයට ලැබෙන පරිදි 66% කින් විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතර සාමාජිකයන්ගේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මෙම යෝජනාව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සිය විරෝධය පළකර ඇති අතර සෙසු සාමාජිකයන් තිදෙනා වන නීතීඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර සහ එස්. ජී. සේනාරත්න එකඟතාව පළ කිරීම හේතුවෙන් එම යෝජනාව සම්මත වී ඇති බවයි සඳහන් වන්නේ.

මහජන උපදේශන හා සියලු පාර්ශවයන්ගේ යෝජනා අනුව රුපියල් බිලියන 142 ක ආදායමක් ලැබෙන පරිදි 36% ක විදුලි ගාස්තු වැඩිවීමක් මහජන උපයෝගීතා කොමිසම සකස් කර තිබූ නමුත් ඊට පක්ෂ වී ඇත්තේ කොමිසමේ සභාපති ජනක රත්නායක පමණක් බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අද (15) සිට මෙම සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

තැපැල් ඡන්දය සැලසුම් කළ පරිදි පවත්වන්න තවමත් හැකියි – මැතිවරණ කොමිස​ම

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්දය සැලසුම් කළ පරිදි පැවැත්වීමට තවමත් හැකියාවක් ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව තැපැල් ජන්ද පත්‍රිකා බෙදා හැරීම පමණක් මේ වන විට ප්‍රමාදවී ඇති බවයි එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ.

තැපැල් ඡන්ද පත්‍රිකා අද දිනයේ බෙදාහැරීමට සැලසුම් කර තිබූ අතර කෙසේ නමුත් මුදල් නොලැබීමේ ගැටවුක් මත තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදීමේ ගැටළුවක් ඇති බවට රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කිරීමත් සමඟ තැපැල් ඡන්දය කල් දැමීමට කටයුතු කර තිබුණා.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිව ධූරයෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක්

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් එම ධූරයෙන් තාවකාලිකව ඉවත් කරමින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ඔහු ප්‍රදේශීය සභා පනත යටතේ වැරදි කිසිවක් සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් මාස තුනක කාලයක් තුළ පරික්ෂා කර ආණ්ඩුකාරවරයා වෙත වාර්තා කරන ලෙසයි නියෝග කර තිබෙන්නේ.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාර්යය ඉටුකිරීම සඳහා උප සභාපතිවරයා වන කෝරලේ ගෙදර පියතිස්ස එම තනතුරට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

1934a224f51db512eb4a9b5265373084

3332050be7199d4bda725f39875830af

මහ කන්නයේ වී මිලදී ගැනීම අද ආරම්භ වෙයි

මහ කන්නයේ වී මිලදී ගැනීම අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මේ වනවිට අදාල ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9% ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100 ක මුදලකට මිලදී ගැනීමට නියමිතයි.

එසේම තෙතමනය 14% ට වැඩි හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝවක් රුපියල් 88 කට ලබා ගන්නා ලෙසයි වී මිලදී ගැනීම සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛයේ දක්වා තිබෙන්නේ.

විදුලි බිල වැඩි කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවෙනවා – විදුලි වෘත්තීය සමිති

විදුලි බිල යළි වැඩි කිරීමට කටයුතු කළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ජනතාවද විරෝධතාව පළකළ යුතු බවයි.

66% කින් විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අසාධාරණ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ගම්පොළදී ATM යන්ත්‍රයක් ගලවාගෙන ගිය සැකකරුවන් 7 ක් අත්අඩංගුවට

ගම්පොළ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් සමග ATM යන්ත්‍රයක් ගලවාගෙන ගිය සැකකරුවන් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැකකරුවන් සතුව තිබී ATM යන්ත්‍රය සහ පිස්තෝලයක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ආණ්ඩුව මැතිවරණය කල් දැමීමට බියගුළු වෑයමක් ගෙන තිබෙනවා – සජිත්

22 වන වතාවටත් ආණ්ඩුව මැතිවරණය කල් දැමීම උදෙසා බියගුළු වෑයමක් ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මැතිවරණය කල් දැමීම උදෙසා කුමණ්ත්‍රණ කරන සියලුදෙනාට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට සහ නීතිය ඉදිරියේ උපරිම දණුවම් ලබා දීමට කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

මැතිවරණය කල් දැමීමට හෝ නොපැවැත්වීමට ආණ්ඩුව ගනු ලබන බියගුළු ක්‍රියාවන්ට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග සහ සෙසු සියලු ප්‍රගතිශීලී බලවේග එක කඳවුරකට ගොනුවිය යුතු අවස්ථාව උදාවී ඇති බවද විපක්ෂ නායකවරයා සිය ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.

අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන ලබාදෙන ලෙස ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් ලබාදීමේ වැඩසටහනේදී අවශ්‍යතා සහිත කිසිවෙකු මඟ නොහැරෙන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එසේම පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් (2,850,000) සඳහා සහල් ලබා දීම වෙනුවෙන් ප්‍රමාණවත් වී තොග මිලදී ගැනීම, රුපියල් බිලියන 20 ක උපරිමයකට යටත්ව සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අද (14) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර තිබෙනවා.