වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරයි

ඊයේ (23) දිනයේ අධ්‍යාපන අමාත්‍යංශය පරිශ්‍රයට ඇතුළු වී විරෝධතාවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අද (24) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ දිනයේ දී අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ දී පොලීසිය විසින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 48 දෙනෙක් සහ ශිෂ්‍යයන් 14 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

ජනාධිපති පිස්සු කතා කියමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් ගෙන යන්න උත්සාහ කරනවා – සජිත්

රට බංකොලොත් වී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ පිස්සුවෙන් මෙන් දොඩවන බවත් විපක්ෂය විසින් මැතිවරණය නවත්වන ලෙස පැවසූ බවට බොරු බේගල් ඇද බාන බවත් එහෙත් සැබෑ යථාර්ථය නම් සමගි ජන බලවේගය මැතිවරණය වෙනුවෙන් මේ වන විටත් සූදානමෙන් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විදුලි බිල සියයට 250කින් වැඩිකර, බදු බර, ගෑස් මිල, තෙල් මිල වැඩි කර මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරාගෙන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් පිස්සු කතා කරන බවත්, ජනාධිපතිවරයා රටේ ජනතාවගේ මානව අයිතිය උල්ලංඝනය කරමින් ඡන්ද අයිතිය සහ මේ රටේ ජනතාවට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගැනීමට කටයුතු කරන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

නිදහස් උත්සවය අභිමානවත්ව පැවැත්වූවේ රටේ නීතිය හා සාමය ස්ථාවර වී ඇති බව ලෝකයට පණිවිඩයක් ගෙන යාමට – ජනපති

වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

වසරකට සංචාරකයින් ලක්ෂ 20 කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සහ දිනකට ඩොලර් 500ක් වියදම් කළ හැකි සංචාරකයන් ගෙන්වා ගැනීම අපේක්ෂාව බවත් එම සැලසුම් ක්‍රියාවට නැංවිම සඳහා කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටු වාර්තාව ලැබීමත් සමග එය කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳ වඩා හොඳ ප්‍රචාරණයක් ලෝකයට ගෙන යා යුතු බවද, මෙවර නිදහස් උත්සවය අභිමානවත්ව පැවැත්වුවේ ද රටේ නීතිය සහ සාමය ස්ථාවර වී ඇති බවට වූ පණිවිඩය ලෝකයට ගෙන යාමට බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

d22e6b5ecf3e6c04ea1b9b9c89534a01

සියල්ලන්ගේම මහ මොළකරු කවුද කියලා ඊයේ දිනයේ දී ඔප්පු වුණා – ඩලස් අලහප්පෙරුම

ජනාධිපතිවරයා විසින් හරසුන්, අත්තනෝමතික ප්‍රකාශ කිරීම තුළ සමස්ත රාජ්‍යයම හෑල්ලුවට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

කොළඹ තේරීම් භාර නිලධාරියා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නොදන්නා බව පැවසීමටත්, එය නීත්‍යානුකූල නොවන බව පැවසීමටත් පෙබරවාරි මාසය දක්වා නිශ්ශබ්දව සිටීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඊයේ (23) දිනයෙන් පසුව වෙනත් කිසිවෙකුටත්, කිසිම ආයතනයකටවත්, රාජ්‍ය නිලධාරියෙකුටත් ඇඟිල්ල දික් කිරීමේ තේරුමක් නොමැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම සමස්ත වැඩපිළිවෙළේ මහ මොළකරු කවුද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින්ම රටට අනාවරණය කළ බවයි.

එමෙන්ම ඊයේ දිනයේ දී විධායක ජනාධිපති ධූරය කෙතරම් ඒකාධිපතිවාදී ස්වරූපයක් ගන්නවාද යන ප්‍රකාශය උස් හඬින් නැවත වතාවක් පාර්ලිමේන්තුවේදී තහවුරු වූ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ශෂී වීරවංශගෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත වෛද්‍ය වාර්තාවක්

අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව පනවා තිබු නඩුව අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ශෂී වීවරංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය වෙත වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ ඇයට ඇති වී තිබෙන අසනීප තත්ත්වයක් හේතුවෙන් දින 03ක විවේකයක් අවශ්‍ය බවත්, ඒ හේතුවෙන් ඇයට අධිකරණයට පෙනී සිටීමට නොහැකි බවයි.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් නඩු විභාග කිරීම ලබන 28 වනදා දක්වා කල් දැමීමට තීරණය කළා.

JR ගේ බෑනා කරන්නෙත් එදා 82 දී මාමා කරපු දේම තමයි – සුනිල් හඳුන්නෙත්ති

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් දැන් කරමින් සිටින්නේ 1982 වසරේ දී ජනමත විචාරණය පවත්වා එවකට ජනාධිපති ‍ජේ.ආර්. ජයවර්ධන විසින් කළ දේම බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

1982 වසරේ දී ජනමත විචාරණය පවත්වා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු පැමිණීම වැළැක්වීමට කටයුතු කළ බවට ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා විසින් පසුකළකදී පවසා සිටි බවයි සුනිල් හඳුන්නෙත්ති පවසා සිටියේ.

දැන් ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ බෑනා විසින් ද එය කරමින් සිටින බවත් වෙනසකට ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඡන්දය කල් දාන්න යැයි පැවසූ පිරිස පාවා දීම බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මැතිවරණයක් නැත්නම් එජාපය නාම යෝජනා දුන්නේ ඇයි? – පුබුදු ජයගොඩ

මැතිවරණයක් නීත්‍යානුකූලව කැඳවා නොමැති නම් එක්සත් ජාතික පක්ෂය විසින් පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදී ඇත්තේ ඇයිදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විමසා සිටියා.

මහ බැංකු අධිපතිවරයා විසින් සඳහන් කළ පරිදි මෙම ආර්ථික අර්බුදය විසඳීමට වසර 10ක් පමණ ගත වනු ඇති බවට පෙන්වා දුන් ඔහු කියා සිටියේ, මුදල් නොමැතිකම හේතුවෙන් ඡන්දය නොපවත්වන්නේ නම් තවත් වසර 10ක් යනතුරු ඡන්දයක් පැවැත්වීමට නොහැකි වන බවයි.

මුදල් නොමැති බව පවසමින් ඡන්දය කල් දැමීම යුක්ති සහගත නොවන බවත්, එම තර්කය අනුව ඕනෑම මැතිවරණයක් කල් දැමීමට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ජල බිල්පත් ගෙවීම 40% ක් දක්වා පහළ ගිහින් – ජල සම්පාදන මණ්ඩලය

රුපියල් මිලියන 8,400 ක හිඟ බිල්පත් ජල පාරිභෝගිකයින් විසින් ගෙවීමට ඇති බවත්, බිල්පත් ගෙවීම 40 %ක් දක්වා පහළ ගොස් ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

රුපියල් මිලියන 8,400ක මුදලින් රුපියල් මිලියන 6,200 ක්ම ගෙවීමට ඇත්තේ ගෘහස්ත ජල පාරිභෝගිකයින් විසින් බවත් මණ්ඩලය පෙන්වා දෙනවා.

මෙලෙස බිල්පත් නොගෙවීම නිසා මණ්ඩලයේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට දැඩි බාධා මතුව ඇති බවයි එම මණ්ඩලය අවධාරණය කරන්නේ.

සංචාරකයෙකුට සෙරෙප්පුවෙන් ගැසූ තරුණයා පොලිස් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වූ ඇල්ල ප්‍රදේශයේ දුම්රියේ ගමන් කරමින් සිටි සංචාරකයෙකුට සෙරප්පුවකින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවේ සිටි තරුණයා ‍පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව බණ්ඩාරවෙල පොලීසිය මඟින් ඊයේ (22) දිනයේ කළ විමර්ශනයකින් අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් 27 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු විසින් මෙලෙස සෙරප්පුවෙන් පහර දී තිබුණේ උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරමින් සිටින විදෙස් සංචාරක කාන්තාවකටයි.

ඖෂධ හිඟයට අදාළ පෙත්සම විමර්ශනය කිරීමට මානව හිමිකම් කොමිසම තීරණය කරයි

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් රටේ පවතින ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම නිසා ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බවට මානව හිමිකම් කොමිසමේ ගොනුකළ පෙත්සම විමර්ශනය කිරීමට එම කොමිසම තීරණය කර ඇති බව වාර්තා වනවා.

අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය නම් කොට ඇති අතර ඊට අදාළව නොතීසි නිකුත් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.