සර්ව ජන ඡන්ද බලය ගැන දෙදින විවාදය අද ආරම්භ වෙයි

අද (09) දිනයේත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද සහ හෙට දිනයේ “සර්ව ජන ඡන්ද බලය” පිළිබඳ සභාව කල්තැබීමේ දෙදින විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විපක්ෂය විසින් අදාළ කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

SLvsNZ : ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 120/1

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්තය සමත් වුණා.

එහිදී නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 3.00 ට ආරම්භවී තිබුණා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 120 ක් ලබා සිටිනවා.

පළමු කඩුල්ල ලෙස ඕෂධ ප්‍රනාන්දු ලකුණු 13 ක් ලබා සිටියදී දැවීගිය අතර මේ වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටින නායක දිමුත් කරුණාරත්න ලකුණු 33 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 73 ක් ලබාගෙන තිබෙනවා.

මේ වන විට ලකුණු පුවරුව පහතින්,

035f3e8cda721ce28e1e1ba965e5f4f6

සීනි මිල අඩුවෙයි

සීනි කිලෝවක තොග මිල රුපියල් 20ත් 25ත් අතර මිලකින් පහළ දැමීමට පියවර ගෙන ඇති බව පිටකොටුව ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බවයි පිටකොටුව ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත ගුවන් යානයක් පියාසර කරවයි

කාන්තා දිනය සමරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත ගුවන් යානයක් පියාසර කරවා තිබෙනවා.

ඒ අනුව එම යානය කටුනායක ගුවන්තොටුපොළේ සිට ඉන්දියාවේ ට්‍රිචි ගුවන්තොටුපොළ බලා පියාසර කර ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ.

මෙම යානයේ කාර්ය මණ්ඩලය ලෙස කපිතාන් චාමිකා රූපසිංහ, පළමු පියාසර නිලධාරි බිමලී ජීවන්දර, ගුවන් කාර්ය මණ්ඩල ප්‍රධානී රෝෂානි දිසානායක, ගුවන් මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුල සහ ගුවන් සේවිකාවන් වන ලක්මිණි දිසානායක, ජයකලනී කින්සන් සහ හර්ෂි වල්පොල කංකානමාලගේ මේ සඳහා එක්ව තිබෙනවා.

QR ඉන්ධන සලාකය අලුත් වන දිනය වෙනස් වෙයි

අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි QR ඉන්ධන සලාකය සතිපතා අලුත් කිරීම අඟහරුවාදා දිනවල මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව අද මේ වන විට සියලුම QR ඉන්ධන සලාක අලුත් කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය නොවෙනස්ව තවදුරටත් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

418c01618431b036721147fd1226839a

තිරිඟු පිටි මිල පහළට

ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් තිරිඟු පිටි මිල අද (08) සිට පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි මිල රුපියල් 15කින් අඩු කිරිමට මෙලෙස තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පාන් මිල රුපියල් 10 කින් අඩු කෙරේ

පාන් රාත්තලක මිල අඩු කිරීමට තීරණය කළ බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 10 කින් පාන් රාත්තලක මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ සරසවි සිසුන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

කොළඹ විශ්විද්‍යාල සිසුන්ගේ විරෝධතාවට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඊයේ (07) දිනයේ කොළඹ විශ්විද්‍යාල සිසුන්ට විශ්විද්‍යාලය තුළට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

මහින්ද රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ඉවතට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ලබන මස 20 වනදා සිට 30 වනදා දක්වා ඉවත් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ගෝඨාගෝගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.

ඩොලරයේ මිල තවදුරටත් අඩු වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (08) තවදුරටත් අඩු වී තිබෙනවා.

ඒ අනුව අද (08) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 313.77 ක් ලෙස හා විකුණුම් මිල රු. 331.05 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

ඊයේ (07) දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 318.30 ක් ලෙස හා විකුණුම් මිල රු. 335.75 ක් ලෙසත් වාර්තාවී තිබුණා.

2e41df6ea7dfe49bdf28bb213a56ae60