විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මාර්තු 9 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මාර්තු 9 වනදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක පවසනවා.

ඒ අනුව විශ්වවිද්‍යාලවල කටයුතු ඉදිරි දින කිහිපය තුළ නතරවනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එසේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ විභාග ඇගයීම් කටයුතුවලින් ඉවත්වීමට ගත් තීරණය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

තැපැල් ඡන්දය පැවැත්වෙන නව දිනයන් ප්‍රකාශයට පත් කරයි

2023 වසරේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නව දිනයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මාර්තු මස 28 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා සඳහන් කළේ.

ඡන්ද විමසීම අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතයි.

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන 18 වැනිදා

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන මාර්තු 18 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 3,269 දී විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කළේ.

එම විභාගය සඳහා පෙනී සිටින සියලුම අපේක්ෂකයින් සඳහා වන ප්‍රවේශ පත්‍ර පෞද්ගලිකව බාගත කළ නොහැකි වන අතර තම පාසැල් මඟින් එම කාර්ය සිදුකළ යුතු බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ.

පළායෑමට තැත්කළ කෑගල්ල බන්ධනාගාර​යේ රැඳවියෙක් වෙඩි පහරින් මරුට

කෑගල්ල බන්ධනාගාරයෙන් පළායෑමට උත්සහ කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබෙනවා.

ඒ අනුව අදාළ රැඳවියා බන්ධනාගාරයේ කටයුතු සඳහා අලුයම යොදවා සිටි අවස්ථා‍වේ දී එම ස්ථානයෙන් පළායාමට උත්සාහ කිරීමේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රැඳවියා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වන්නේ “ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා නවෝත්පාදන සහ තාක්ෂණය” යන්න බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කාන්තා දින ජාතික උත්සවය “ඇය දැයේ අභිමානයයි” යන තේමාවෙන් සංවිධානය කිරීමට කාන්තා, ළමා හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ, සාක්ෂරතාවයෙන් ඉදිරියට පැමිණ සිටින ලාංකීය කාන්තාව, අද දවසේ රටේ ආර්ථිකයට වෘත්තීමය වශයෙන් ලබාදෙන ශක්තිය සහ දායකත්වය සුවිශේෂී බවයි.

එසේම ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අද සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් වෘත්තීය ක්‍රියාමාර්ගයක

අද (08) පෙරවරුවේ සිට සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීම‌ට සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 8.00 සිට වෘත්තීය කණ්ඩායමත් උදෑසන 6.30 සිට කණිෂ්ඨ කාර්ය මණ්ඩලයත් පැය 24 ක වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් සඳහන් කළේ.

නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් 9 ක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකාවට සහාය දක්වන වැඩසටහන මාර්තු 20 වනදා IMF විධායක මණ්ඩලයට ඉදිරිපත් කෙරේ

එළඹෙන මාර්තු මස 20 වනදා ශ්‍රී ලංකාවට සහාය ලබාදීම සම්බන්ධ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බව එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජිවා පවසනවා.

චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණයහිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගැනීමේදී සහ තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා බලධාරීන් ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් තම ප්‍රශංසාව පළ කරන බවයි ඇය සඳහන් කරන්නේ.

Twitter පණිවිඩයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජිවා මේ බව සඳහන් කර තිබෙනවා.

අදාළ Twitter පණිවිඩය පහතින්.

4a1e17c55cc669b2f0d54d5cdcf7466e

රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කෙරේ

එළඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා.

මෙම බදු නිදහස් කිරීම අදාළ වන්නේ විදෙස් රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංගම්, සුභ පතන්නන් වෙතින් කිසිදු විදේශ විනිමය සම්බන්ධයකින් තොරව ත්‍යාගයක් හෝ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රටඉඳි සඳහා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

චීන එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය නිල වශයෙන් භාර දෙයි

චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හු වෙයි (Hu Wei) විසින් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන වෙත නිල වශයෙන් භාරදී තිබෙනවා.

නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට ඉදිරියේ දී චීනයේ මහා පරිමාණ සමාගම් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ද එහිදී නියෝජ්‍ය තානාපතිවරයා සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

1b763b9c79808d38c6895eb6b80a1e81

පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් 25 පැවැත්වීම වඩා සුදුසුයි – මැතිවරණ කොමිසම

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් 25 වනදා පැවැත්වීමට වඩාත් සුදුසු බව මැතිවරණ කොමිසම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ, මීට පෙර සැලසුම් කළ පරිදි 2023 මාර්තු 9 වන දින ඡන්ද විමසීම පැවැත්විමට නොහැකි බවයි.

අද (07) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ

3cfc813643ba154c5859868b26d243b5