IMF කියන්නේ ප්‍රතිහාර්ය පාන්න පුළුවන් විජ්ජාකාරයෙක් නෙමෙයි – ළහිරු වීරසේකර

ජනතාව සහ වෘත්තීය සමිති පාරට බැස විරෝධතා සිදු කරන්නේ විදුලිබිල වැඩිවීම සහ දරාගත නොහැකි බදු බර නිසා බව Youth for Change සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර පවසනවා.

එසේ වුවද ජනතා බදු මුදලින් නඩත්තු වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා විසින් වෘත්තීය සමිති, බහුජන සංවිධානයන් එක්ව ගෙන යන වැඩවර්ජනයන් මර්දනය කළ යුතු බව ඔහු සඳහන් කරනවා.

IMF පිළිබඳව දැන් ආණ්ඩුව මන්ත්‍රයක් මෙන් මතුරමින් සිටින නමුත් IMF යනු ප්‍රතිහාර්ය පෑ හැකි විජ්ජාකාරයෙක් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත වෙළෙඳසැල්වලින් ලබාගත් සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරේ

ශ්‍රීපාද මාර්ගයේ උඩ මළුව දක්වා මාර්ගවල වෙළෙඳසැල් විශේෂ පරීක්ෂාවකට ලක්කොට ලබාගත් ආහාර සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.

ලිස්ටීරියා නැමති විෂබීජය ඇතැම් පිරිස් වෙත ආසාදනයවීමත් සමඟ මෙලෙස ශ්‍රී පාදය ස්ථානයේ මාර්ගයේ ඇති ආහාර පාන අලෙවිසැල් පරික්ෂාවට ලක් කිරීමට නල්ලතන්නිය හා නුවරඑළිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊ‍යේ (17) දිනයේ දී කටයුතු කළා.

රුසියානු ජනාධිපති අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරේ

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2022 පෙබරවාරි 24 සිට යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ දවසේ සිට යුක්‍රේනය තුළ රුසියාව විසින් අපරාධ සිදුකර ඇති බවට එම අධිකරණය විසින් චෝදනා කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වරෙන්තුව රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති නමුත්, අදාළ වරෙන්තු නිකුත් කිරීම හරහා රුසියානු ජනාධිපතිවරයාට විදේශ සංචාරයන්වල නිරත වීමට නොහැකි වීම වැනි බලපෑම් එල්ලවිය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

බදු සහන සඳහා ස්ථිර කාලරාමුවක් සකස් කරගැනීමට එකඟතාවක්

උපයනවිට බද්දට අදාළව සහනයක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවේදී ස්ථිර කාලරාමුවක් සකස් කරගැනීමට ජනාධිපති ලේකම්වරයා එකඟතාවය පළ කළ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ජනාධිපති ලේකම්වරයා සමග අද (17) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමය සඳහන් කළේ, ස්ථිර විසඳුමක් ලැබෙනතෙක් අන්තර්කාලීන විසඳුමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

කෙසේ නමුත් ස්ථිර විසඳුමක් ලැබෙනතෙක් වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත්වීමේ සූදානමක් නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

මහ බැංකු සංශෝධන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ජාතික ජන බලවේගය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (17) පෙත්සමක් ගොනුකර තිබෙනවා.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2011 වසරේ වව්නියාවේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට ණය යෝජනා ක්‍රමයක්

විශ්වවිද්‍යාල ප්‍රවේශ වරම් අහිමි සිසුන්ට උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට රුපියල් ලක්ෂ 11ක පොලී රහිත ණය මුදලක් ලබාදීම යළි ඇරඹීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් සඳහා රාජ්‍ය බැංකු 3ක් හරහා පොළී රහිත ණය පහසුකමක් ලබාගැනීමට අවස්ථාව ලැබෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙහිදී තාක්ෂණික පාඨමාලා සඳහා ප්‍රමුඛතාවක් ලබාදෙන බවත් සාකච්ඡා වට කිහිපයකින් පසු මුදල් අමාත්‍යංශය විසින් අනුමැතිය ලබාදී ඇති බවත් කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.

2023 රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලමට

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හලාවත, කැදැල්ලෑව, ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී මෙම උත්සවය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ සාකච්ඡාවක් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

SLvsNZ : ශ්‍රී ලංකා එක්දින හා T20 සංචිත නම් කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර
දීර්ඝ කාලයකට පසු ඇන්ජලෝ මැතිච්ස්ද මෙම සංචිතය සඳහා නම් කර තිබීම විශේෂත්වයක්.

එසේම විස්සයි විස්ස තරගාවලිය සඳහාද 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර මේ සංචිතය සඳහා නැවත සුවය ලබා පැමිණි කුසල් ජනිත් පෙරේරාද ඇතුළත් කර තිබෙනවා.

අදාළ සංචිතය පහතින්,

4415278c71aa26de762237d8e1bb88ce

ශ්‍රී පාදය මාර්ගයේ ඇති ආහාර පාන අලෙවිසැල් පරික්ෂාවට

ශ්‍රී පාදය මාර්ගයේ ඇති ආහාර පාන අලෙවිසැල් පරික්ෂාව අද (17) දිනයේ ආරම්භ කර තිබෙනවා.

ලිස්ටීරියා නැමති විෂබීජය ඇතැම් පිරිස් වෙත ආසාදනය වීමත් සමඟ මෙලෙස ශ්‍රී පාදය ස්ථානයේ මාර්ගයේ ඇති ආහාර පාන අලෙවිසැල් පරික්ෂාව ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අදාළ ස්ථානයේ ඇති ආහාරවල නියැඳි ලබා ගැනීම නල්ලතන්නිය හා නුවරඑළිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද දිනයේ දී සිදුකෙරෙන බවයි සඳහන් වන්නේ.