නොරොච්චෝලේ 3 වන ඒකකයේ බිඳවැටීමක්

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ඒකකයේ බිඳවැටීමක් පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව එම ඒකකය අප්‍රේල් මාසයේදී විශාල අලුත්වැඩියා කටයුත්තක් සඳහා නියමිතව තිබූ බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අඛණ්ඩ බල සැපයුමක් සහතික කිරීම සඳහා, ලංකා විදුලිබල මණ්ඩලය සතු ඩීසල් සහ ඉන්ධන තෙල් බලාගාර භාවිතා කරන බවත් බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

0f3b204b6934f63a9d28f752ef807246

SLvsNZ : දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 113/2

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමා වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 113 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 51 ක් හා නොදැවී පන්දුවට පහරදෙන කුසල් මෙන්ඩිස් ලකුණු 50 ක් ලබාගත්තා.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 303 ක් ලබාගත යුතුව තිබෙනවා.

ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් හෙට සාකච්ඡාවක්

ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට (20) අධ්‍යාපන අමාත්‍යංශය වෙත කැදවීමක් සිදුකර ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

ඒ අනුව ගුරුමාරු සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට කටයුතු කරන බව රජය පසුගිය 17 වනදා නිවේදනය කළ අතර වෘත්තීය සමිති එය ප්‍රතික්ෂේප කර තිබුණා.

SLvsNZ : ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 164 කට සීමාවෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 164 ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 89 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 37 ක් හා නිෂාන් මදුෂ්ක ලකුණු 19 ක් ලබාගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 5 සීමාව හෝ ඉක්මවා යෑමට නොහැකි වුණා.

පන්දු යැවීමේදී Matt Henry හා Michael Bracewell කඩුලු 3 බැඟින් හා Tim Southee, Doug Bracewell හා Blair Tickner එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 416 ක් ඉදිරියෙන් පසුවනවා.

ආනයනික බිත්තර තොගය ඉදිරි දින කිහිපයේ දිවයිනට

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව ඉදිරි දින දෙක තුළ දිවයිනට ළඟා වනු ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පවතින බිත්තර හිඟය අවම කිරීම සහ මිල පාලනය කිරීමේ අරමුණින් රජය විසින් බිත්තර ආනයනය කිරීමට තීරණය කළ අතර අදාළ බිත්තර තොගය බේකරි කර්මාන්ත සඳහා යොදාගැනීමට නියමිතව තිබෙනවා.

මුදල් ලේකම්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සජබය දැනුම්දෙයි

මැතිවරණය සඳහා මුදල් ලබානොදීමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

නීතිඥයෙකු මාර්ගයෙන් ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යොමු කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට මේ බව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කර ව්‍යවස්ථාවේ 105 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බැවින් අධිකරණයට අපහාස කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.

SLvsNZ : ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 136/6

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 127 ක් ලබා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉනිමට වඩා මේ වන විට ලකුණු 442 ක් පිටුපසින් සිටිනවා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදෙන දිමුත් කරුණාරත්න ලකුණු 76 ක් හා නිශාන් මධුෂ්ක ලකුණු 11 ක් ලබා සිටිනවා.

හංඟන්න දෙයක් නැහැ, IMF එකඟතාවය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගත් එකඟතාවයේ සැඟවීමට දෙයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එළැඹෙන සතියේ දී IMF එකඟතාවය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවයි.

මෙමඟින් විපක්ෂයට සහ විවිධ මත පළකරන පාර්ශ්වයන්ට පාර්ලිමේන්තුවේ කතා කිරීමට අවස්ථාවක් ලැබෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ ඔවුන්ගේ විකල්ප අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලැබෙන බවත් ඒ සඳහා අවස්ථාවක් ලබාදීමට රජය සුදානම් බවයි.

පොහොට්ටුවේ ඡන්ද දායකයන්ව බය කරලා තියෙන්නේ – රෝහිත අබේගුණවර්ධන

ඡන්දයක් පැවැත්විය යුත්තේ ඡන්ද දායකයාට නිදහසේ ඡන්දය භාවිත කිරීමට අයිතිය තිබෙන අවස්ථාවක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

නමුත් අද වනවිට නිවාස ගිනි තබා, මනූෂ්‍ය ඝාතනයන් සිදුකොට පොදුජන පෙරමුණේ ඡන්ද දායකයන්ව බියට පත්කර ඇති බවද, එසේ බියට පත් කිරීමෙන් ඡන්දය ලබාගත නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා.

සමහර පක්ෂ මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන තැටිය රත්වූ අවස්ථාවේ රොටිය දමා ගැනීමට උත්සාහ කරන බව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මුදල් ගෙවන තුරු තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදෙන්න බැහැ – රජයේ මුද්‍රණාලය

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය මූල්‍ය ගෙවීම් සිදුකරන තුරු මැතිවරණ කොමිෂම වෙත අදාළ ඡන්ද පත්‍රිකා භාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානී ලියනගේ පවසා තිබෙනවා.

දිස්ත්‍රික්ක 17කට අදාළව ඡන්ද පත්‍රිකා මේ වනවිටත් මුද්‍රණය කර අවසන් කර ඇති බවත්, අදාළ ඡන්ද පත්‍රිකා යළි පරික්ෂා කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදුකළ යුතු බවත් ප්‍රකාශ කළ ඇය වැඩිදුරටත් කියා සඳහන් කර සිටියේ ඒ සඳහා අවශ්‍ය වන මුදල් මෙතෙක් ලැබී නොමැති බවයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රුපියල් කෝටි 20ක පමණ මුදලක් වැය වී ඇතත් මේ දක්වා කොමිෂමට ලැබී ඇත්තේ රුපියල් කෝටි 04ක් පමණක් බවයි ඇය පවසා සිටියේ. මෙම මුදල් නොලැබීම නිසා මුද්‍රණාලයේ අභ්‍යන්තර කටයුතු පවත්වාගෙන යාමත් අර්බුදයක්ව ඇති බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා.

comment loading imageමහජන ප්‍රතිචාර