දේපල බදු ක්‍රමය වෙනුවට ඉදිරියේදී ධන බද්දක් සහ තෑගි හා බූදල් බද්දක් හඳුන්වාදීමට කටයුතු කරනවා – ජනපති

2025 දී අවම බදු නිදහස් කිරීමක් සහිතව, දේපල බදු ක්‍රමය වෙනුවට ධන බද්දක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, තෑගි හා බූදල් බද්දක් හඳුන්වා දීමටත් පියවර ගන්නා බවයි.

2025 වන විට ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක් බවට පත් කර ගැනීම රජයේ ඉලක්කය බවත් 2026 වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක් දක්වා වැඩි කර ගැනීමට සැලසුම් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ආංශික බදු සහන නොමැතිව සංස්ථාපිත ආදායම් බදු අනුපාතය 30% දක්වා වැඩි කර ඇති බවත් වැට් බදු අනුපාතය 8% සිට 15% දක්වා වැඩි කිරීමට පියවර ගත් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඩොලරයේ විකුණුම් මිල රු.330 දක්වා අඩු වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (22) නැවතත් අඩු වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.312.61ක් ලෙස හා විකුණුම් මිල රු.330.16ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

මහින්දගේ සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කර ඇති බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම්දීමට නියෝගයක්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පනවනු ලැබූ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබෙනවා.

අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, තම සේවාදායකයන්ට පණවා තිබූ විදේශ ගමන් සීමා කිරීමේ නියෝගය ඉකුත් ඔක්තෝම්බර් මස 07 වන දායින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දීර්ඝ නොකළ බවයි.

මේ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම්දෙන නියෝගයක් නිකුත් කරන මෙන්ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම වගඋත්තරකරුවන් දෙදෙනාට නිකුත් කළ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබෙනවා.

උද්ධමනයට සරිලන ලෙස රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනස්කරනවා – ජනපති

යම් යම් සීමාවන්ට යටත්ව උද්ධමනයට සරිලන ලෙස ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනස් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා පවසනවා.

ඒ අනුව ප්‍රාථමික අයවැය ශේෂයේ සීමාවන් තුළ අදාළ ගැලපීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

එසේම ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන් ඉවත් කරන බවත් ඉන්ධන මිල 2018 මිල සූත්‍රය අනුව පමණක් තීරණය කරන බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.

සෑම 6 මසකට වරක්ම විදුලි බිල ගැලපීමට පියවර ගන්නා බවත්, මහා පරිමාණයෙන් පාඩු ලබන මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රීලංකන් ගුවන් සේවය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා විදුලිබල මණ්ඩලය යන ආයතනවල ශේෂ පත්‍ර යළි සකස් කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුම ජනපති විසින් සභාගත කෙරේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද විස්තීරණ ණය පහසුකම පිළිබඳව ජනාධිපතිවරයා මේ වන විට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවතිනවා.

සජීවී යාවත්කාලීන කිරීම් පහතින්,

* ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුම සභාගත කරනවා.

* ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම ලැබීම තරුණ පරපුරට යහපත් අනාගතයක් ගොඩනැගීමට සහ රට නඟා සිටුවීමේ පියවරක්.

* මෙම ණය පහසුකම වසර 4ක් තුළ ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් වන අතර පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ලැබෙනවා.

* මීට අමතරව අනෙකුත් පාර්ශවවලින් ඩොලර් බිලියන 7ක පමණ කඩිනම් ණය ආධාරයක් රට අපේක්ෂා කරනවා.

* මෙමගින් අඩු පොලී ණය සඳහා අවස්ථා නිර්මාණය වනු ඇත, විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය යළි ස්ථාපිත කර ශක්තිමත් නව ආර්ථිකයක් සඳහා පදනම සකසනවා.

* ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම ලබා ගැනීමට ජනතාව සිදුකළ කැපවීම විශාල ශක්තියක් වූ බවත් රටේ ජනතාවට සිය කෘතඥතාව පළ කරනවා.

* අපි දැන් අලුත් ගමනක් ආරම්භ කරනවා. මෙම ක්‍රියාවලිය පුරාම අපට ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දීමට සිදුවනවා.

* එම ප්‍රතිසංස්කරණවලින් සමහරක් 2022 අතුරු අයවැය සහ 2023 සඳහා වන අයවැය හරහා දැනටමත් යෝජනා කර ක්‍රියාත්මක කර ඇති අතර අපි තවත් ප්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දෙන්නවා.

ජනපතිගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (22) උදෑසන 9.30 ට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද විස්තීරණ ණය පහසුකම පිළිබඳව ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

IMF මූල්‍ය සහනය පොලී අනුපාත පහත හෙලීමට උපකාරී වේවි – මහ බැංකු අධිපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා මූල්‍ය සහනය අනුමත කිරීම පොලී අනුපාත පහත හෙලීමට සහ දේශීය පොලී අනුපාත මත පීඩනය තවදුරටත් ලිහිල් කිරීමට උපකාරී වනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව මේ තුළින් රජයට දේශීය වෙළෙඳපොළෙන් ණය ගැනීමේ අවශ්‍යතාව ලිහිල් වනු ඇති බවයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

දැනට 50% සීමාවේ පවතින උද්ධමනය 2023 අවසාන භාගය වනවිට තනි ඉලක්කමක් දක්වා අඩුකිරීමට හැකිවනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.

ගුරු ස්ථාන මාරුවීම් අප්‍රේල් 17 සිට ක්‍රියාත්මකයි

දිවයිනේ සියලුම ජාතික පාසල්වල දස අවුරුදු සහ වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව අප්‍රේල් 17 වනදා සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

විශේෂ අභියාචනාවන්ට යටත් ගුරුවරුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු මෙලෙස ක්‍රියාත්මක වන බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවල ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ගේ ස්ථාන මාරු හේතුවෙන් දරුවන්ට යම් අගතියක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් විදුහල්පති මගින් ඉදිරිපත් කරන අභියාචනා, විශේෂ අභියාචනා කමිටුවකින් නැවත සළකා බලන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

විභාග කටයුතු ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කරයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යළිත් විභාග කටයුතු ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් වැඩ වර්ජනය අවසන් කරනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ.

ඒ අනුව ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

IMF සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුම අද පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද විස්තීරණ ණය පහසුකම පිළිබඳව එහිදී ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් පැහැදිළි කිරීමට නියමිතයි.

එසේම එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුමද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ජනාධිපතිවරයා ඊයේ (21) සඳහන් කළේ.