උත්සව සමයේ ලෙඩ බිත්තර ගෙනල්ලා රට ලෙඩ කරන්න එපා – කුකුල් ගොවීන් සුරැකීමේ සංවිධානය

උත්සව සමයේ බිත්තර ආනයනය කර රට ලෙඩ කිරීමට සූදානම් නොවෙන ලෙස කුකුල් ගොවීන් සුරැකීමේ සංවිධානය රජයෙන් ඉල්ලා සිටිනවා.

බිත්තර ආනයනය කර වෙළඳපොලට නිකුත් කළ පසු වෙළඳපොලේ බිත්තර මිල අඩුවන බවත් ඉන්පසු බිත්තර නිෂ්පාදකයන් විනාශවන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ලබාදෙනවා නම් සත්ව නිෂ්පාදන ආහාර ලංකාවට ගෙන ඒමට අවස්ථාව ලබාදෙන ලෙසත් ඒවා බෙදා හැරීම තුළින් බිත්තර නිෂ්පාදනය පෙර පැවති තත්ත්වයට ගෙන ඒමට හැකියාව ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාව පරදා ඔස්ට්‍රේලියාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට

ඉන්දියාව සමඟ පැවති තරග 03 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සහ අවසන් එක්දින තරගය ඊයේ (22) චෙන්නායි හි දී පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සියලුදෙනා දැවී ලකුණු 269 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 248 ක් පමණයි.

ඒ අනුව දෙරට අතර පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 21 ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

මෙම ජයත් සමග ඉන්දියාව දෙවැනි ස්ථානයට පත් කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඉන්දියාවෙන් ආනයනය කර​න පළමු බිත්තර තොගය දිවයිනට පැමිණෙයි

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය දිවයිනට ළඟා වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

මෙරට බිත්තර මිල පාලනය කිරිමේ අරමුණින් ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරිමට රජය තීරණය කළ අතර පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2 ක් ආනයනය කර ඇති බවයි සඳහන් වන්නේ.

දිවයිනට රැගෙන ආ බිත්තර තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන පරීක්ෂණ වලින් අනතුරුව ඒවා නිදහස් කර හැරීමට නියමිතව තිබෙනවා.

අප්‍රේල් 10 වනවිට මඩ පොහොර සියලුම දිස්ත්‍රික්කවලට

මෙරටට ලැබුණු මඩ පොහොර (TSP) යල කන්නයේ වී වගා කටයුතු ආරම්භයට පෙර අප්‍රේල් මස 10 වනවිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා අවසන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

යල කන්නය සඳහා මඩ පොහොර බෙදාහැරීම පසුගිය සඳුදා ආරම්භ වූ අතර අඟහරුවාදා දිනය අවසන් වනවිට මඩ පොහොර මෙට්‍රික් ටොන් 9,177 ක් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බෙදා හැර ඇති බවයි සඳහන් වන්නේ.

මේ වනවිට ගොවින් විසින් ලබා ගෙන ඇති පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 994 ක් වන අතර ගොවීන් ලක්ෂ 12කට වී වගාව සඳහා මඩ පොහොර ලබාදෙන බවත් දින දෙකක් තුළ ගොවීන් 20,940ක් පොහොර ලබාගෙන ඇති බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පළාත් පාලන මැතිවරණය පිළිබඳව අද පක්ෂ ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ තීරණාත්මක සාකච්ඡාවක් අද (23) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පවතින තත්ත්වය යටතේ පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට හැකිද යන්න එහිදී වැඩි අවධානයක් යොමු කරන බවයි සඳහන් වන්නේ.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා සිදු කිරීමට නියමිත අතර මැතිවරණය අප්‍රේල් 25 වන දින පැවැත්වීමට මේ වන විට තීරණය කර තිබෙනවා.

රාමසාන් උපවාසය හෙට ආරම්භ වෙයි

රාමසාන් උපවාස සමය හෙට (24) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා.

නව අඩ සඳ ඊයේ (22) දිනයේ දර්ශනය නොවූ බැවින් මෙලෙස රාමසාන් උපවාස සමය හෙට ආරම්භ කරන බවයි කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් නිවේදනය ක⁣ළේ.

ලිස්ටීරියා රෝගී තත්ත්වය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුවත් කිරීමක්

ලිස්ටීරියෝසිස් යනු බැක්ටීරියාවකින් ඇතිවෙන රෝගී තත්ත්වයක් බවත් එය මහා පරිමාණයෙන් වසංගත තත්ත්වයකින් යන රෝගයක් නොවන බවත් සෞඛ්‍ය අංශ පවසනවා.

මෙය සාමාන්‍යයෙන් කෙනෙකුගෙන් තව කෙනෙකුට පැතිරීම සිදුවන්නේ ආහාර මඟින් බවත්, එම බැක්ටීරියාවට ආහාර නිරාවරණය වීමෙන් පසු එය ආහාරයට ගත් විට මෙම රෝගය පැතිරිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ.

මෙය වසංගත තත්ත්වයකට යනු ඇතැයි අනියත බියක් ඇති කරගත යුතු රෝගී තත්ත්වයක් නොවන බවත් තමන් ගන්නා ආහාර, ජලය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රන් මිල යළිත් පහළට

මෙරට රත්‍රං මිල ගණන් අද (22) දවසේ නැවත වරක් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳුන් පවසනවා.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 151,800 ක් දක්වා පහළ ගොස් ඇති අතර ඊයේ (21) කැරට් 22 රන් පවුමක මිල සටහන්ව තිබුණේ රු. 162,000 ක් ලෙසයි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 175,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වන විට රු. 165,000 ක් දක්වා පහත වැටී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශිෂ්‍යත්ව පාසල් කඩයිම් ලකුණු නිකුත් කෙරේ

2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කඩයිම් ලකුණු මත 2022 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, පාසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතූන් මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන් හට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට Online ක්‍රමයට පහසුකම් ඉදිරියේදී සලසා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති නායකයින් සහ එහි නියෝජිතයින් පිරිසකට කොටුව දුම්රිය ස්ථානය ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන කිහිපයකට ඇතුළුවීම සහ එම ස්ථානවල සිට උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධානයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ලංකා ප්‍රගති ගුරු සංගමයේ ලේකම් මයුර සේනානායක, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි සහ එම සංගම්වල නියෝජිතයින් සදහා එම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 10.00 සිට පස්වරු 4.00 දක්වා කොටුව පොලිස් වසමේ, කොටුව දුම්රිය ස්ථානයේ සිට සෙරමික් හන්දිය දක්වාත්, ලෝටස් මාර්ගය, යෝර්ක් වීදිය, බැංකු මාවත, බාරෝන් ජයතිලක මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට එම මාර්ගයේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශය සහ ගාලු මුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.