2022 තෙවන පාසල් වාරය අදින් අවසන්

2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ) තෙවන වාරය අද (24) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව 2023 වර්ෂයේ පළමු පාසල් වාරය 2023 මාර්තු 27 සඳුදා දින ආරම්භවීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අපිට ණය ගෙවන්න බැරි නම් ගෙදර තියෙන මොකක් හරි විකුණලා හරි ණය ගෙවන්න ඕන – ජනපති

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත නුදුරේදීම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර මෙය ගෙන එන බවත් මේ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ අතර ආයතන කිහිපයක රජය සතු කොටස් විකිණීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් දක්වා සිටි අතර එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ අදාළ ආයතන සියල්ලම පාඩු නොලබන බවයි.

එහෙත් රටේ ණය ගෙවීමට ඇති බවත් ණය ගෙවීමට නොහැකි නම් ගෙදර ඇති කුමක් හෝ විකුණා හෝ ණය ගෙවීමට සිදුවන බවත් රජය ව්‍යාපාරවලින් ඉවත්විය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් 7ක රජය සතු කොටස් විකිණීමට අනුමැතිය

රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට අනුමැතිය හිමිවූ බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසනවා.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය විසින් මෙම ගනුදෙනු විනිවිදභාවයකින් යුක්තව සිදු කිරීම සඳහා සුදුසු ආයෝජකයන් තෝරාගැනීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍යවල දැන්වීම් පළකිරීමට කටයුතු කර තිබෙනවා.

අදාළ රාජ්‍ය ආයතන හා මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

1. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම (ශ්‍රී ලන්කන් කේටරින් සමාගම ඇතුළු)
2. ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී
3. සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
4. කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම (කොළඹ – ග්‍රැන්ඩ් හයට්)
5. හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)
6. සී/ස ලිට්‍රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුලු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම
7. ලංකා හොස්පිටල් සංස්ථා පී.එල්.සී.

IMF පළමු වාරිකය අද ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමෙහි පළමු වාරිකය අද (23) දිනයේ ලැබී ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පවසනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 333ක් මෙලෙස පළමු වාරිකය ලෙස ලැබෙන බවයි ජනාධිපතිවරයා හා මාධ්‍ය ප්‍රධානීන් සමඟ අද පැවති සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

යූරියා මිල අඩුකෙරේ

දේශීය වෙළෙඳපොළේ යූරියා පොහොර මිල අඩු කිරීමට පෞද්ගලික සමාගම් කිහිපයක් තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව යූරියා කිලෝ 50ක මිටියක මිල රුපියල් 18,500 සිට රුපියල් 11,000 දක්වා අඩු කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

විපක්ෂ මන්ත්‍රීවරුන් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

අධිකරණයේ ගෞරවය හා පෞරුෂය හෑල්ලුවට ලක්කිරීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයට එරෙහිව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගය, නිදහස් ජනතා සන්ධානය, ජාතික ජන බලවේගය හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ සඳහා අත්සන් තබා ඇති බවයි සඳහන් වන්නේ.

නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයකට මේ වනවිටත් රට මුහුණදී සිටින බවත් එවැනි තත්ත්වයකට එරෙහිව ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි එම ඒකාබද්ධ ප්‍රකාශය මඟින් සඳහන් කර තිබෙන්නේ.

ඩයනා ගමගේ සම්බන්​ධ නඩුව පිළිබඳව CIDයට නියෝගයක්

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරුව පැමිණිල්ල ලබන අප්‍රේල් මස 6 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.328 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (23) සුළු අඩු වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.311.26 ක් ලෙස හා විකුණුම් මිල රු.328.60ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

රාහුල් ගාන්ධිට වසර දෙක​ක සිර දඬුවමක්

සාපරාධී අපහාස නඩුවක් සම්බන්ධයෙන් ඉන්දීය කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

2019 වසරේදී මැතිවරණ රැලියක් අතරතුර අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගාන්ධි වරදකරු බවට තීන්දු කර ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, ඔහුට ඇප නියම වී ඇති අතර තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ දීම සඳහා ඔහුගේ සිර දඬුවම දින 30 කට අත්හිටුවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී සහ හිටපු ගුජරාට් අමාත්‍ය පූර්ණේෂ් මෝඩි විසින් රාහුල් ගාන්ධිට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

කිරිපිටි මිල පහළට

එළැඹෙන අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි 1kg පැකට්ටුවක මිල රුපියල් 200කින් සහ 400g පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩුකරන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.