මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදය හමුවේද මෙරට බැංකු පද්ධති ස්ථාවරව පවත්වා ගැනීමට හැකියාව ලැබුණු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව ඉදිරියේදීද බැංකු පද්ධතියේ එවැනි ස්ථාවරත්වයක් පවත්වාගත හැකි බවයි කොළඹ පැවති උත්සවයක් අමතමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

බැංකු පද්ධති මුහුණදෙන අභියෝග සම්බන්ධයෙන් ලොව පුරා අසන්නට ලැබෙන බවත් මෙරට වාණිජ බැංකු වුවද ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි ආකාරයෙන් සූදානම් විය යුතු බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින තරගාවලිය හෙට ආරම්භ වෙයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය හෙට ආරම්භ වනවා.

ඒ අනුව දෙරට අතර එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිත අතර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය වැදගත් වනවා.

වසර දෙකකට පසු ඇන්ජලෝ මැතිව්ස් හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

මැතිවරණය ගැන විමසීමට මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවනවා – අගමැති

මැතිවරණය ගැන විමසීමට මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීමට බලාපොරොත්තු වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසනවා.

විපක්ෂය යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා සඳහන් කළේ, ඉතා ඉක්මනින් මැතිවරණ කොමිසම කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

අද ඩොලරයේ විකුණුම් මිල රු.331 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (24) සුළු වැඩිවීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.314.74 ක් ලෙස හා විකුණුම් මිල රු.331.37ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

සතොස භාණ්ඩ වර්ග 10 ක මිල පහළ දමයි

ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අර්තාපල්, ලොකු ළූණු, දේශීය සම්බා, වියළි මිරිස්, ටින් මාළු ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

30a4fc7b082cdcf6d1b1c0648e4a4729

පාරිභෝගික අධිකාරිය උත්සව සමයේ වැටලීම් අරඹයි

එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා වැටලීම් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයම ප්‍රධාන තොග අලෙවිසැල් හා ගබඩා පරීක්ෂා කිරීම මෙන්ම සිල්ලර වෙළඳසැල් පරීක්ෂා කිරීමද සිදුකරන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

එසේම උත්සව සමයේදී වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුලු අක්‍රමිකතා සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට 1977 කෙටි දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (25) උදෑසන 11.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 10ක කාලයක් ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්තිටුවීමට නියමිතයි.

එසේම මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටත්, කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත්, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලටත් සැපයුම අත්හිටුවන බවයි බවයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

ගංජා සමඟ අත්අඩංගුවට ගත් OIC සහ කොස්තාපල් රිමාන්ඩ්

ගංජා අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පලෙයි පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙක් බවයි සඳහන් වන්නේ.

ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සොයා ගැනීමට සමත්ව ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද රැස්වෙයි

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (24) විශේෂ සාකච්ඡාවක් සඳහා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, ගැටලුව විසඳීම සඳහා වෘත්තීය සමිති දුන් අවස්ථාව රජය අවභාවිතා කරමින් ඇති බවයි.

ජනාධිපතිවරයා සමඟ සෘජු සාකච්ඡාවක් ලබාදෙන බවට සඳහන් කළද මෙතෙක් එම සාකච්ඡාව ලැබී නොමැති බවයි වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 1 සහ 2 ජනපතිගේ ප්‍රධානත්වයෙන්

56 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 1 සහ 2 යන දිනයන්හි දි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අප්‍රේල් 1 වන දා උදෑසන සතර වාහල්කඩ කිරි ඉතිරීමෙන් උත්සවය ආරම්භ වන අතර පළමුවනදා දවස පුරා ශ්‍රි මහා බෝධීන් වහන්සේ අභියස ශබ්ද පූජාව පැවැත්වීමට ද නියමිත බවයි සඳහන් වන්නේ.

අප්‍රේල් මස 2 වන දා උදෑසන කිරි ආහාර පූජාවෙන් පසුව උදෑසන 8.30 ට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහා පාත්‍රයට සහල් පිරවීම සිදු කිරීමට නියමිතයි.