ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් සකස් කිරීමට විශේෂඥ කමිටුවක්

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යවරුන් මෙන්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, විපක්ෂ මන්‍ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විතව එම කමිටුව පත් කිරීමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

සෑම ක්‍රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු බැගින් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ අද (25) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

01

02

නීතිඥ සංගමයේ නව සභාපති වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා අද (25) සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ඔහු ඡන්ද විමසීමකින් තොරව පසුගියදා තේරී පත්වූ අතර එම තනතුර සඳහා ඔහු පමණක් නාමයෝජනා භාරදී තිබුණා.

ඒ අනුව ඔහු සිය ධූරයේ වැඩ ආරම්භ කරමින් සඳහන් කළේ, පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාමට පියවර ගන්නා බවයි.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (25) උදෑසන 11.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 10ක කාලයක් ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්තිටුවීමට නියමිතයි.

එසේම මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටත්, කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත්, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලටත් සැපයුම අත්හිටුවන බවයි බවයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

තවදුරටත් චීනයෙන් ණය ලබාගැනීම සිදුනොකළ යුතුයි – ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

පවතින ආර්ථික අර්බුදයෙන් මීදිමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබාගැනීම සිදුනොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා.

හිටපු මහ බැංකු අධිපතිවරයා පවසන්නේ චීනයෙන් මෙවර අවශ්‍ය වන්නේ ණය නොවන බවත් ඔවුන් සතුව සුලබව පවතින ප්‍රාග්ධනය ශ්‍රී ලංකාව තුළ යෙදවීම බවයි.

එලෙස ප්‍රාග්ධනය යෙදවීම චීන ණය මගින් මෙහි ගොඩනගන ලද යටිතල පහසුකම් හරහා සිදුකළ හැකි බව පෙන්වා දෙන හිටපු අධිපතිවරයා පවසා සිටියේ හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය වැනි චීනය මෙහි ගොඩනැගූ යටිතල පහසුකම්වල වාසිය ලබමින් මෙහි ආයෝජන සිදුකරන්නේ නම් එයද ඉදිරි ආර්ථික වර්ධන මූලාශ්‍රයක් වනු ඇති බවයි.

අපිට සිද්ධවෙනවා එළඹෙන සතියේදී ලක්ෂ ගණනක් වන වෘත්තිකයින් සමග පාරට එන්න – GMOA

උපයනවිට බද්දට අදාළව තාවකාලික විසඳුමක් ලබාගැනීමට ජනාධිපතිවරයා මේ සතිය තුළ සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් එළැඹෙන සතිය තුළදී යළිත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

එහිදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටියේ සාකච්ඡාව ලබා නොදෙන්නේ නම් එළඹෙන සතියේදී ලක්ෂ ගණනක් වන වෘත්තිකයින් සමග පාරට පැමිණීමට සිදුවනු ඇති බවයි.

එම තත්ත්වය තුළ රටම අඩපණ විය හැකි බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

බාහිර පුද්ගලයින්ට ආයෙත් පුහුණුව ලංවිම තුළ ලබාදෙන්නේ නැහැ – නිහාල් වීරරත්න

ලංකා විදුලි බලමණ්ඩලය තුළ මින් ඉදිරියට කිසිදු බාහිර පුද්ගලයෙකු සඳහා පුහුණු වීම් ලබා නො‍දීමට ඒකමතිකව තීරණය කළ බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පවසනවා.

ඔහු සඳහන් කර සිටියේ පසුගිය සමයේ දී රජය විසින් වරාය අධිකාරියට, විදුලිබල මණ්ඩලයට මිල්ටරීකරණය හඳුන්වා දීමට උත්සහා කළ බවත්, ඒ සඳහා ඇතැම් බාහිර පුද්ගලයින් ආයතනයන්වලට පැමිණ සිය වැඩකටයුතු සම්බන්ධයෙන් පුහුණු වීමක් ලැබීමටද උත්සාහ කළ බවයි.

නමුත් මින් ඉදිරියට එවන් කිසිවෙකුටත් පුහුණු වීම් ලබා නොදීමට තීරණය කළ බවයි සභාපතිවරයා වැඩිදුරටටත් පවසා සිටියේ.

SLvsNZ : පළමු තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී ඊඩ්න් පාර්ක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව ප්‍රථම තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණු අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තිරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ඇන්ජලෝ මැතිව්ස් එක්ව සිටින අතර ධනංජය ද සිල්වා සහ මහීෂ් තීක්ෂණ මෙම තරඟය ක්‍රීඩා නොකිරීම ද විශේෂත්වයක්.

සමාජ මාධ්‍ය වල සංසරණය වන පුවත් අසත්‍යයි – ධනංජය ද සිල්වා

නවසීලන්තය සමග හෙට (25) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී තමා අංක 7 ස්ථානයේ පන්දුවට පහර දීම ප්‍රතික්ෂේප කළ බවට පලවන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ද සිල්වා පවසනවා.

තමා සැමවිටම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ.

හෙට නවසීලන්තය සමඟ පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ධනංජය ද සිල්වා අංක 7 ස්ථානයේ පන්දුවට පහරදීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඒ හේතුවෙන් කණ්ඩායමේ ස්ථානය ද ඔහුට අහිමි වී ඇති බවයි සමාජ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ.

37986ea464f02be087572b69db7c36bc

IMF පළමු වාරිකයෙන් ඉන්දීය ණයෙන් කොටසක් ගෙවයි

ඉන්දීය රජයෙන් මෙරටට ලැබුණු ණය මුදල් සඳහා පළමු වාරිකය නැවත ගෙවීම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 121 ක් ගෙවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු වාරිකයෙන් එම ඉන්දීය ණය වාරිකය ගෙවූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සාලිය පිරීස් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරයෙන් සමුගනියි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ලෙස කටයුතු කළ ජනාධිපති නීතීඥ සාලිය පිරීස් අද (24) නිල කාලය අවසන්වීමෙන් අනතුරුව එම ධූරයෙන් ඉවත්වී තිබෙනවා.

ඒ අනුව සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ වෘත්තියේ ගෞරවනීය සාරධර්මවලට අනුකූලව එහි යහපත උදෙසා ක්‍රියාකිරීමට සෑමවිටම ඉමහත් පරිශ්‍රමයක් දැරූ බවයි.

රටේ ජනතාවගේ විශ්වාසය පුබුදුවාලමින් නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ සහ ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කැප වූ ශක්තිමත් හා ජවසම්පන්න ආයතනයක් ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය කටයුතු කරනු ඇති බව තමාගේ ප්‍රාර්ථනය බවයි ජනාධිපති නීතීඥ සාලිය පිරීස් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ, නව සභාපති ධුරය සඳහා කෞෂල්‍ය නවරත්න පසුගියදා තේරී පත්ව තිබුණා.

c54c1ada5ecc8aa8070a316a152c2426