2023 වසරේ මුල් මාස කිහිපයේ සංචාරක පැමිණීම ලක්ෂ 3 ඉක්මවයි

2023 මාර්තු මාසයේ මුල් දින 26 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 105,714 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ අනුව 2023 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 315,898 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

7a4719085f43e46932d46ec2f6fe7d3b

වැඩ වර්ජනයේ ඉදිරි කටයුතු තීරණය කිරීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති අද රැස්වෙයි

වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා අද (29) සාකච්ඡාවක් පැවැත්වෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න සඳහන් කළේ, විෂයභාර අමාත්‍යවරයා හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තම ගැටලු සඳහා විසඳුම් ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.

ඛනිජ තෙල් ආනයනය කිරීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පැවති ඒකාධිකාරී බලය විදේශ සමාගම්වලට ලබාදීමට විරෝධය පළකරමින් ඔවුන් ඊයේ (28) සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කළා.

ඇතැම් පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධන අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නැහැ – කංචන

අද (29) උදෑසන 6.00 ට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීම පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ ඇති නමුත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධන අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නොමැති බවද, ඔවුන්ට තම ඇණවුම් සිදුකර අවශ්‍ය අවම තොග පවත්වා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

අදාළ Twitter පණිවිඩය පහතින්.

b91921d51e2378f06cf84ba07f9fb3d6

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද සාකච්ඡාවකට රැස්වෙයි

ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (29) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එහි සම කැඳවුම්කරු මහාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ, දැනට පවතින බදු සංශෝධනයට මාස 6 ක කාලයක් බලා සිටීමට නොහැකි බැවින් කඩිනමින් අන්තර්කාලීන විසඳුමක් අපේක්ෂා කරන බවයි.

ඒ සම්බන්ධයෙන් ලිඛිතව ජනාධිපතිවරයාව දැනුවත් කළ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් සඳහන් කළා.

ඉන්ධන බෙදා හැරීමට බාධා කළ වෘත්තීය සමිති නායකයින් හා සේවකයින් අනිවාර්ය නිවාඩු යැවේ

ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ වෘත්තීය සමිති නායකයින් හා එයට සහාය දුන් සේවකයන් අනිවාර්ය නිවාඩු යැවීමට කළමණාකාරීත්වය තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව ඔවුන්ට මේ මොහොතේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය හා තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවයි එම සංස්ථාව සඳහන් කරන්නේ.

අනෙක් සියලුම නිලධාරීන් සේවයට වාර්තා කර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු හා අනෙකුත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස දැනුම්දෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ.

3c0b80048734f4b86683983474dc4bbf

ආනයනය කළ බිත්තර අද සිට බෙදාහැරීමට පියවර

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර අද (29) සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ආනයනය කරන ලද බිත්තර බේකරි නිෂ්පාදකයින් අතරේ පමණක් බෙදා හැරීමට නියමිත අතර එම බිත්තර බේකරි නිෂ්පාදකයින් සඳහා රුපියල් 35ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි.

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2 ක් මේ වන විට ආනයනය කර තිබෙනවා.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන ආරම්භ කෙරේ

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් අද (27) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දෙමටගොඩ, මිහිඳුසෙන්පුර ප්‍රජා ශාලාවේදී ප්‍රතිලාභීන් 995 දෙනෙකු වෙනුවෙන් ද, නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රජා ශාලාවේ දී ප්‍රතිලාභීන් 448 දෙනෙකු වෙනුවෙන් ද, වැල්ලවත්ත රන්ජන් විජේරත්නපුර ප්‍රජා ශාලවේ දී ප්‍රතිලාභීන් 169 දෙනෙකු වෙනුවෙන් ද සහල් මලු බෙදාදීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

2022/ 2023 මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීම් සහ වී තොග බැහැර කිරීමේ වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ මෙම සහල් බෙදා දීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසීමට විදෙස් සමාගම් 3 කට කැබිනට් අනුමැතිය

විදෙස් සමාගම් 03 කට ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළඳපොළට ඇතුළු වීමට බලපත්‍ර ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව චීනයේ Sinopec, ඕස්ට්‍රේලියාවේ United Petroleum, ඇමෙරිකාවේ RM Parks සහ Shell PLC වෙත ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළඳපොළට ඇතුළු වීමට බලපත්‍ර ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

RM Parks සහ Shell PLC සමාගම් එක්ව සේවා සැපයීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම සමාගම් 3 සඳහා දැනට ඛණිජ තෙල් සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන, අලෙවි නියෝජිතයින් විසින් මෙහෙයවන ඉන්ධන පිරවුම්හල් 150 බැගින් වෙන්කරන අතර ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර 20ක් ක්‍රියාත්මක වීමට බලපත්‍රයක් ලබාදෙන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම අදාල තෝරාගත් සමාගම් මගින් නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීමටද නියමිත බවයි සඳහන් වන්නේ.

c167def3dbf2b8e66a45f21c98ecc227

ca313b0e8d7533bd1f03ace00f56ebec

ඕනෙම මැතිවරණයකට අපි ලෑස්තියි – මහින්ද රාජපක්​ෂ

එළඹෙන දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

නාරාහේන්පිට අභයාරාමයේදී අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, අවශ්‍ය මොහොතේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු කණ්ඩායම් එක්වන බවයි.

කුමන ආකාරයක මැතිවරණයක් පැවතියද තම කණ්ඩායම ඒ සඳහා සූදානම් බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.332 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (27) සුළු වැඩිවීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.314.82 ක් ලෙස හා විකුණුම් මිල රු.332.58ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.