රත්‍රං මිල පහළට

මෙරට රත්‍රං මිල ගණන් අද (27) දිනයේ පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ පවසනවා.

ඒ අනුව පසුගිය සිකුරාදා රුපියල් 161,000 ක් වූ කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 158,300 ක් දක්වා පහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

එසේම සිකුරාදා රුපියල් 175,000 ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 172,000 ක් දක්වා පහත වැටී ඇති බවයි කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළඳුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරමින් දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්

T20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හඹාගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තම රට ඉදිරියේ සටහන් කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි T20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරධනා කළ අතර කොදෙව් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 258 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී Johnson Charles ලකුණු 118 ක්, Kyle Mayers ලකුණු 51 ක් හා Romario Shepherd නොදැවී ලකුණු 41 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් වාර්තා පොත් අලුත් කිරීමට සමත් වුණා.

දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී Quinton de Kock ලකුණු 100 ක්, Reeza Hendricks ලකුණු 68 ක් හා නායක Aiden Markram නොදැවී ලකුණු 38 ක් ලබා ගත්තා.

උත්සව සමයේ වැටලීම් වැඩි කිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් තීරණය කරයි

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ වෙළඳපොල වැටලීම් මේ වන විට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් එස්.අයි. බෝපිටියගේ පැවසුවේ ආහාර සුරක්ෂිතතාවය සඳහා විශේෂ වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කරන බව හා 3000 කට ආසන්න පිරිසක් මේ සඳහා යොදවා ඇති බවයි.

පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළඳපලේ පවතී නම්, ඒ පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවීමට IMF ණයෙන් කොටසක් ගන්නවා – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය පහසුකමෙන් කොටසක් රාජ්‍ය සේවකයින්ගේ මාර්තු සහ අප්‍රේල් වැටුප් ගෙවීමට යොදා ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මාර්තු මාසයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් ඇතුළු දීමනා ලබාදීම සඳහා රුපියල් බිලියන 196 ක් පමණ වැයවන බවත්, අපේක්ෂිත ආදායම ඇත්තේ බිලියන 173 ක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව රුපියල් බිලියන 23 ක පමණ හිඟයක් පවතින බවත්, බහු පාර්ශවික ණය බිලියන 500 ක් ගෙවිය යුතු අතර මාර්තු මාසය සඳහා රුපියල් බිලියන 500 ක පමණ හිඟයක් පවතින නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය පහසුකමෙන් කොටසක් මේ සඳහා යොදා ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තෙල් සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව අද වෘත්තීය ක්‍රියාමාර්ගයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව අද (27) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටි බවත් මේ වනතෙක් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න සඳහන් කරන්නේ.

ඒ අනුව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද උදෑසන කොලොන්නාව ඛනිජ තෙල් නිමාව ඉදිරිපිට වෘත්තීය සමිති නායකයන්ගේ සහභාගීත්වයෙන් උපවාස ක්‍රියාමාර්ගයක් මේ වන විට ආරම්භ කර ඇති බවයි අදාළ වෘත්තීය සමිති සඳහන් කළේ.

බදු ප්‍රතිපත්තියට එරෙහි විරෝධය මේ සතියේ තීව්‍ර කරනවා – වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මේ සතියේ තීව්‍ර කිරීමට කටයුතු කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ඒ අනුව එම එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් ජයසිංහ සඳහන් කළේ, ජනාධිපතිවරයා සමඟ ලබාදීමට පොරොන්දු වූ සාකච්ඡාව ලබාදීමකින් තොරව ආණ්ඩුව එය මඟ හරිමින් සිටින බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම සතිය ආරම්භයේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව රැස්වී සාකච්ඡා කර ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

2023 පළමු වාරය අද ආරම්භ වෙයි

2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර අද (27) ආරම්භ වනවා.

ඒ අනුව 2023 වසරේ පළමු වාරයේ පළමු අදියර අද සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා ගැන විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළා – වජිර

රාජ්‍ය සේවකයින්ට අතිකාල සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය මගින් ඊයේ (26) නිකුත් කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එළවළු තොග මිල සීග්‍රයෙන් පහළට

දිවයින පුරා එළවළු තොග වෙළඳ මධ්‍යස්ථානවල තොග මිල ගණන් සීග්‍රයෙන් පහත ගොස් ඇති බව එම වෙළඳුන් පවසනවා.

එළවළු තොග ලැබීම ඉහළ යාම හා අඩු මිලට ගොවීන්ගෙන් එළවළු තොග ලැබීම නිසා මෙලෙස මිල ගණන් පහත ගොස් ඇති බවයි වෙළඳුන් පෙන්වාදෙන්නේ.

ඒ අනුව මීට පෙර රුපියල් 400 කට අලෙවි කෙරුණු බෝංචි කිලෝ ග්‍රෑමයක් මේ වන විට තොග මිල රුපියල් 100 ක් දක්වා පහත වැටී ඇති අතර රුපියල් 700 කට පමණ අලෙවි වූ මාළු මිරිස් කිලෝ ග්‍රෑමයක තොග මිල මේ වන විට රුපියල් 250 ක් දක්වා පහත වැටී ඇති බවයි වෙළඳුන් සඳහන් කරන්නේ.

එසේම කැරට් කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 80 දක්වාත් ගෝවා කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 50 ක් දක්වාද අඩුවී තිබෙනවා.

ඉදිරියේදී බස් ගාස්තු අඩුවිය හැකියි – බන්දුල ගුණවර්ධන

ඉදිරියේදී බස් ගාස්තු අඩුවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව, මිල සූත්‍රයකට අනුව බස් ගාස්තුව අඩුකරන්න පුළුවන් වෙන ආකාරයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේර අමාත්‍යවරයා සඳහන් කළ බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

අමතර කොටස් සහ ආනයනය කරන දේවල පිරිවැය අඩුවීමේ වාසිය ජනතාවට ලබාදිය හැකි වනු ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ.