සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණික උපදේශන කමිටුවක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තාක්ෂණික උපදේශන කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ අනුව එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

එම කටිටුවේ සාමාජිකයින් සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ෆර්වීස් මහරූෆ්, අසන්ත ද මෙල්, චරිත් සේනානායක සහ කපිල විජේගුණවර්ධන පත් කර පත්කර තිබෙනවා.

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත් වුණා.

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ මෙම අලුත් සහල් මංගල්‍ය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් 56 වන වරට සංවිධානය කර තිබුණා.

රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සදහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදුකර තිබෙනවා.

පාඨලීගේ නායකත්වයෙන් මැයි මාසයේදී නව දේශපාලන පක්ෂයක්

මැයි මාසයේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

“එක්සත් ජනරජ පෙරමුණ” ලෙස එම පක්ෂය නම් කර ඇති බවයි බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කුසලතාවය මත පදනම් වුණ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බවත්, පවුල් උරුමයෙන් සිදුකරන දේශපාලනයට තිත තැබිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සමෘද්ධි, රාජ්‍ය සේවක සහ විශ්‍රාම වැටුප් 10 වැනිදාට පෙර ගෙවනවා – රංජිත් සියඹලාපිටිය

ආණ්ඩුවේ මුදල් ප්‍රවාහවලට විශාල බරක් වුවද රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප 10 වනදාට පෙර ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එසේම මෙම වසරේ අවසන් කාර්තුව වන විට රාජ්‍ය සේවකයන් සඳහා විශේෂ දීමනාවක් ලබාදිමටද රජය කටයුතු කරන බවයි උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි දීමනා මෙම මස 10 වනදාට පෙර ගෙවීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

SLvsNZ 1st T20 : ශ්‍රී ලංකාව සුපිරි පන්දුවාරය ජයගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ සුපිරි පන්දුවාරයෙන් ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 196 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජතිත් පෙරේරා නොදැවී ලකුණු 53 ක්, චරිත් අසලංක ලකුණු 67 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 25 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 15 ලබා ගත්තා.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් James Neesham කඩුලු 2 ක් හා Adam Milne, Benjamin Lister, Henry Shipley එක් කඩුල්ල බැගින් බිඳ හෙළිමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ ලකුණු 196 ක් ලබා ගනිමින් තරගය සම තත්ත්වයට ගෙන ආ අතර ඒ හේතුවෙන් තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කළා.

සුපිරි පන්දුවාරයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 8 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයේ 3 වන පන්දුවේදී සිය ජයග්‍රාහි ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

SLvsNZ 1st T20 : සුපිරි පන්දුවාරයේ ශ්‍රී ලංකාවට ලකුණු 9 ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කළා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සුපිරි පන්දුවාරය තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 8 ක් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 9 ක්.

SLvsNZ 1st T20 : තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ කණ්ඩායම් දෙකම සම ලකුණු ලකුණු ලබා ගැනීම හේතුවෙන්.

SLvsNZ 1st T20 : නවසීලන්තයට ලකුණු 197 ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 197 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජතිත් පෙරේරා නොදැවී ලකුණු 53 ක්, චරිත් අසලංක ලකුණු 67 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 25 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 15 ලබා ගත්තා.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් James Neesham කඩුලු 2 ක් හා Adam Milne, Benjamin Lister, Henry Shipley එක් කඩුල්ල බැගින් බිඳ හෙළිමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 197 ක්.

කුසල් හා චරිත්ගෙන් අර්ධ ශතක – 171/5

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේදී අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට කුසල් ජනිත් පෙරේරා සහ චරිත් අසලංක සමත් වුණා.

කලකට පසුව පිටියට නැවත පැමිණි කුසල් ජනිත් පෙරේරා සිය අර්ධ ශතකය වාර්තා කිරීම සඳහා හයේ පහර 1 ක් සහ හතරේ පහර 4 ක් එල්ල කළා.

චරිත් අසලංක සිය අර්ධ ශතකය සඳහා හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් එල්ල කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 171 ක් ලබා සිටින අතර ක්‍රියාත්මක වන්නේ 17 වන පන්දු වාරයයි.

ආනයනික බිත්තරවලින් සෞඛ්‍යමය ගැටලු නිර්මාණය වන බවට මෙතෙක් තහවුරුවී නැහැ – PHI සංගමය

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරවලින් සෞඛ්‍යමය ගැටලු නිර්මාණය වන බවට මෙතෙක් තහවුරු වී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

බිත්තර සාම්පල වාර්තාවලින් ඒබව තහවුරු වී ඇති බවයි එහි සභාපති උපුල් රෝහණ මාධ්‍ය වෙත සඳහන් කළේ.

එම බිත්තර පරිභෝජනය කිරීමෙන්ද සෞඛ්‍යමය ගැටලු නිර්මාණය වන බවට අනාවරණ වී නොමැති බවත් ඒ සඳහා කිසිඳු සාක්ෂියක් පරීක්ෂණ මඟින් අනාවරණය නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.