ගෑස් මිල හෙට රුපියල් 1000 කින් පමණ අඩු කරනවා – ලිට්‍රෝ සභාපති

හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් පවසනවා.

ඒ අනුව හෙට පෙරවරුවේ නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අන්තරේ විරෝධතාවට ජල ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ, ලිප්ටන් වටරවුම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කැලණිය, රුහුණ, විවෘත විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි සරසවි වල මර්දනය වහා නවත්වන ලෙස ඉල්ලා මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

කොන්දේසි පහකට යටත්ව පෞද්ගලිකරණයට එකඟයි -ගම්මන්පිල

කොන්දේසි පහකට යටත්ව පෞද්ගලීකරණයකට එකඟවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසනවා.

දේශපාලන බලපෑම හේතුවෙන් රාජ්‍ය ව්‍යවසාය මිලදී ගැනීමට කටයුතු කරන්නේ, පාක්ෂිකයා මිස දක්ෂයා නොවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

අදාළ කොන්දේසි පහතින්,

1. පෞද්ගලිකරණය අතිශයින්ම විනිවිදභාවයකින් සිදුවිය යුතුයි. පෞද්ගලිකරණය අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික කමිටුවක් පිහිටුවිය යුතුයි.

2. පෞද්ගලිකරණයේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව සූරාකන වෙළඳපොලක් බිහිවීම වැළැක්වීමට සැබෑ නියාමනයක් තිබිය යුතුයි.

3. මව්බිමේ සතුරන් අතට මෙම ආයතන පත් වී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් පෞද්ගලිකරණය සිදු නොවිය යුතුයි.

4. පෞද්ගලික අංශයේ කේවල් කිරීම් වැලැක්වීමට සහ හදිසි අවස්ථාවන්ට මුහුණ දීමට අවශ්‍ය කරන ආයතන පෞද්ගලිකරණය නොකල යුතු නමුත් නව ව්‍යවසායකයින්ට අවස්ථාව ලබා දී උපරිම තරගකාරි වෙළඳපොලකට අවස්ථාව සැලසිය යුතුයි.

5. උපාය මාර්ගිකව වැදගත් ආයතන රාජ්‍යය සතුව තබා ගත යුතුයි.

අද ඩොලරයේ විකුණුම් මිල රු.334 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (03) අඩුවීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 316.75 ක් ලෙස හා විකුණුම් මිල රු 334.20 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

ජාතික පාසැල්ව​ල අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීම ගැන දැනුම්දීමක්

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික පාසල්වල 2 සිට 4 හා 7 සිට 10 යන අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දී අදාළ චක්‍රලේඛන අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 21 දිනෙන් පසු ව ජාතික පාසල් වෙත දැනුම් දෙන බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් කරනු නොලබන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

IPL 2023 : ඊයේ තරගවලින් RR සහ RCB කණ්ඩායම්වලට ජය

IPL තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ (02) පැවැත් වුණා.

ඒ අනුව Rajasthan Royals කණ්ඩායම හා Sunrisers Hyderabad කණ්ඩායම අතර පළමු තරගය පැවති අතර එම තරගයෙන් ලකුණු 72 ක ජයක් ලැබීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් Rajasthan Royals කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 203 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Sunrisers Hyderabad කණ්ඩායමට ලබාගත හැකිවූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 131 ක් පමණයි.

දෙවන තරගය Mumbai Indians කණ්ඩායම හා Royal Challengers Bangalore කණ්ඩායම් දෙක අතර පැවති අතර එම තරගයෙන් කඩුලු 8 ක ජයක් ලැබීමට Royal Challengers Bangalore කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් හා Royal Challengers Bangalore කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Mumbai Indians කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 171 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Royal Challengers Bangalore කණ්ඩායම කඩුලු 2 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

මිලියන 67ක අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 67කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පාවෙමින් තිබූ උරයක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එහි පාර්සල් හතරක අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 කට අධික තොගයක් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

රට තුළට ප්‍රවාහනය කිරීමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් එම අයිස් මත්ද්‍රව්‍ය තොගය මුහුදේ අත්හැර දමා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පළකර ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් සිය භාරයේ පවතින බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද විශේෂ සාකච්ඡාවක

ජනතාවගෙන් එල්ල වන විරෝධතා වැළැක්වීමේ අරමුණින් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගෙන ඒමට ආණ්ඩුව උත්සහා දරමින් සිටින බව සමගි ජන බලවේගය පවසනවා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද (03) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පවත්වන බවයි එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ.

එහිදී මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණයට පැමිණෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

නව මිල ගණන් යටතේ අද සිට ආනයනික කිරිපිටි වෙළඳපොළට

නව මිල ගණන් යටතේ අද (03) සිට ආනයනික කිරිපිටි වෙළඳපොළට නිකුත් කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, අද සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80 කින් අඩුවී ඇති බවයි සඳහන් වන්නේ.

වෘත්තියවේදීන්ගේ විශේෂ සාකච්ඡාවක් අද

වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද (03) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නව බදු සංශෝධනය, ත්‍රස්ත පනත ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

අද පස්වරු 3.00 ට මෙම සාකච්ඡාව පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළා.