මාර්ග දෙපස වෙළෙඳාම් කිරීමට අවස්ථාව දීම සම්බන්ධයෙන් විරෝධයක්

මාර්ගය දෙපස ව්‍යාපාර කටයුතු සිදුකිරීමට රජය මගින් අවසර ලබාදීමෙන් ආර්ථික මධ්‍යස්ථානවලට දැඩි බලපෑමක් එල්ලවන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසනවා.

ඒ අනුව පදික වේදිකාවේ එළවළු විකිණීම මේ වෙලාවේ සුදුසු කටයුත්තක් නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

ආර්ථික මධ්‍යස්ථානවල අද ව්‍යාපාරිකයන්ද ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ අපහසුතා මධ්‍යයේ බවයි සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

SLvsNZ 1st T20 : කාසියේ වාසිය නවසීලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අද (02) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

මගේ පාලන කාලය තුළ රටේ නීතිය හා සාමය කඩන්න කාටවත්ම ඉඩ දෙන්නේ නැහැ – ජනපති

තම ජනාධිපති ධුර කාලය තුළ රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම වැළැක්වීම සහ රට අරාජික වීම වළක්වා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ආරක්ෂක අංශ වෙත සිය කෘතඥතාව පළකරන බවයි ආරක්ෂක අංශ සාමාජිකයින් අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

ත්‍රස්තවාදී යුද්ධය ජය ගත්තා සේම ශ්‍රී ලංකාවේ ආර්ථික යුද්ධය ජයගෙන ආර්ථික ස්වාධීනත්වයක් ඇති කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඉතාලිය ChatGPT තහනම් කරයි

ඉතාලිය විසින් ලෝකයේ වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇති කෘතිම බුද්ධි (AI) සේවාවක් වන ChatGPT තහනම් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භ කරන ලද OpenAI ආයතනය විසින් නිර්මාණය කළ සහ Microsoft ආයතනයෙන් සහය ලබන මෙම කෘතිම බුද්ධි (AI) සේවාව සම්බන්ධයෙන්, පෞද්ගලිකත්වය පිළිබඳව ගැටලු ඇති බව ඉතාලි දත්ත ආරක්ෂණ අධිකාරිය පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ ගැටලුව පිළිබඳව වහාම ක්‍රියාත්මක වන පරිදි පරික්ෂණයක් ආරම්භ කිරීම සඳහා ඉතාලිය තුළ ChatGPT සේවාව භාවිතය තහනම් කිරීමට කටයුතු කළ බව ඉතාලි දත්ත ආරක්ෂණ අධිකාරිය විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

උෂ්ණත්වය හොඳටම වැඩියි, දරුවන් වතුර බීම වැඩි කළ යුතුයි – විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස

මෙම දිනවල පවතින තදබලම ගැටලුවක් ලෙස උෂ්ණත්වය ඉහළ යාම පෙන්වා දිය හැකි බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසනවා.

මේ හේතුවෙන් දවසකට පානය කරන ජල ප්‍රමාණය ඉතාමත් වැදගත් බවත්, විශේෂයෙන්ම වයසට අවුරුදු 05ට අඩු දරුවෙකු දිනකට අවම වශයෙන් වතුරු වීදුරු 02ක් හෝ දිනකට පානය කළ යුතු බවත්, දරුවන්ගේ වයස අනුව බොන වතුර ප්‍රමාණය වැඩි කළ යුතු බවත් ඇය පවසා සිටියා.

පාසල් යන දරුවෙකු අවම වශයෙන් වතුර වීදුරු 4 සිට 6 දක්වාද, වැඩිහිටියෙකු අවම වශයෙන් වතුරු වීදුරු 10ක ප්‍රමාණයක්වත් පානය කළ යුතු බවත් පාසල් යන දරුවන් වතුර බීමට හුරු විය බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර බෙදාහැරීම ඇරඹෙයි

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කළ බිත්තර තොග දිවයින පුරා සිටින බේකරි හා හෝටල්හිමියන් වෙත බෙදාහැරීමේ කටයුතු අද (01) සිට ආරම්භ වී තිබෙනවා.

අදාළ බිත්තර සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා සිටියේ එම බිත්තර සෞඛ්‍යයට හානිදායක බවට වන කිසිම සාධකයක් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.

රත්‍රං මිල පහළට

අද (01) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රු. 162,800 ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ වාර්තා පේනවා දෙනවා. ඊයේ (31) දිනයේ කැරට් 22 රන් පවුමක මිල දැක්වුණේ රු. 165,600ක් ලෙසයි.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 177,000 ක් දක්වා පහත වැටී ඇති අතර ඊයේ දිනයේ එහි මිල දැක්වුණේ රු. 180,000ක් ලෙසයි.

ආනයනික කිරිපිටි මිල අඩුවීම අද සිට

ආනයනික කිරිපිටි මිල අද (01) සිට අඩු කෙරෙන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව 1kg වන කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200කින් සහ 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩු කිරීමට නියමිතයි.

පෙබරවාරි මාසයේ දී 23,974ක් විදේශ රැකියා සඳහා මෙරටින් පිටත්ව ගිහින් – මහ බැංකුව

2023 වසරේ පෙබරවාරි මාසයේ දී විදේශ රැකියා සඳහා පුද්ගලයින් 23,974ක් පිටත්ව ගොස් ඇති බවත්, එම පිරිස් අතර නුපුහුණ සේවකයින් 7,662ක්, ගෘහ සේවිකාවන් 6,939ක් සහ පුහුණු සේවකයින් 6,582ක් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පවසනවා.

එමෙන්ම 2022 වසරේ පෙබරවාරි මාසයේ දී ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 205ක් වන විදේශ ප්‍රේෂණයන් ප්‍රමාණයට වඩා 2023 වසරේ පෙබරවාරි මාසයේ දී ලැබුණු විදේශ ප්‍රේෂණයන් ප්‍රමාණය 407ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ අඛණ්ඩව දෙවන මාසයේ දීද විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 400 සීමාව ඉක්මවා ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ.

පෙබරවාරි මාසයේ දී ඇඟලුම් අපනයනයන් සැලැකිය යුතු මට්ටමකින් පහළට – මහ බැංකුව

ඇඟලුම් අපනයන ආදායම් සැලැකිය යුතු ලෙස පහළ යාමත් සමඟ 2023 පෙබරවාරි මාසයේ දී කාර්මික භාණ්ඩ අපනයන ආදායම, 2022 වසරේ පෙබරවාරි මාසයට වඩා පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ගෝලීය වශයෙන් පැවැති අහිතකර ආර්ථික තත්ත්වයන් හේතුවෙන් ඇඟලුම් අපනයනය කරන ප්‍රධාන වෙළෙඳපොළවල ඉල්ලුම පහත වැටීම ඊට ප්‍රධාන හේතුවක්ව ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

82776565c9967c2d7785470b57098be3