ඉන්ධන කෝටාව ඉහළට

සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දමා ඇති අතර එය අද මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

කලින් සැලසුම් කළ පරිදි උත්සව සමයේ වැඩිවන අවශ්‍යතාවය අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ඉහළ දැමූ ආකාරය පහතින්,

*ත්‍රීරෝද රථ (විශේෂ) – (දැනට පවතින ලීටර 10) – ලීටර් 15 දක්වා
*ත්‍රීරෝද රථ (සාමාන්‍ය) – (දැනට පවතින ලීටර 5) – ලීටර් 8 දක්වා
*යතුරුපැදි – (දැනට පවතින ලීටර 4) – ලීටර් 7 දක්වා
*බස් රථ – (දැනට පවතින ලීටර 40) – ලීටර් 60 දක්වා
*මෝටර් රථ – (දැනට පවතින ලීටර 20) – ලීටර් 30 දක්වා
*වෑන් රථ – (දැනට පවතින ලීටර 20) – ලීටර් 30 දක්වා
*ගොඩබිම් වාහන – (දැනට පවතින ලීටර 15) – ලීටර් 25 දක්වා
*ලොරි රථ – (දැනට පවතින ලීටර 50) – ලීටර් 75 දක්වා
*විශේෂ කාර්ය වාහන (දැනට පවතින ලීටර 20 ) – ලීටර් 30 දක්වා

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ආරම්භ කිරීමට නායකත්වය ලබාදීමට වෘත්තීය සංගම් තීරණය කරයි

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ආරම්භ කිරීම සඳහා නායකත්වය ලබාදීමට අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ, සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, දෛනික දීමනාවක් ලෙස ලබාදීමට අමාත්‍යවරයා පොරොන්දු වූ බවයි.

කිලෝ මීටර් 80ට අඩු දුර ප්‍රමාණය සහිත ගුරුවරුන්ට රුපියල් 2,000ක දීමනාවක් සහ කිලෝ මීටර් 80ට වැඩි පිරිස් සඳහා 2,900ක දිමනාවක් ලබාදීමට අමාත්‍යවරයා එකඟතාව පළකර ඇති බවයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.

ලාෆ් ගෑස් මිල පහළට

ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,

* 12.5KG ගෑස් – රු.1,290 කින් (නව මිල රු.3,990)

* 5KG ගෑස් – රු.516 කින් (නව මිල රු.1,596)

විදෙස්ගත ශ්‍රමිකයන්ට අතිරේක තීරුබදු සහනයක්

විගමනික ශ්‍රමිකයින් වසරක කාලයක් තුළ මෙරටට එවූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය මත පදනම් වෙමින් ඔවුන්ට අතිරේක තීරුබදු දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

විගමනික ශ්‍රමිකයින් 2022 වසරේ මැයි මස පළමුවැනිදා සිට වසරක කාලයක් තුළ මෙරටට එවන ලද ප්‍රේෂණවල වටිනාකම පදනම් කර ගනිමින් අතිරේක තීරුබදු දීමනාවක් ඔවුන්ට ලබාදීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව විදේශගත ශ්‍රමිකයන් දිරිගැන්වීම සඳහා එම කාලසීමාවට දෙන තීරුබදු සහනයට අමතරව, ලංකාවට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය සැලකිල්ලට ගෙන මෙම අතිරේක තීරුබදු සහනය ලබාදෙන බවත් LankaRemit ජංගම දුරකථන යෙදුම හරහා මේ සඳහා ඉල්ලුම් කළ හැකි බවයි විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, කේ.ඩී.ආර්. ඔල්ගා සඳහන් කළේ.

ඒ අනුව අදාළ අතිරේක තීරුබදු සහනයන් පහතින්,

* ඩොලර් 2,400 සිට 4,799 දක්වා – ඩොලර් 600 ක බදු සහනක්
* ඩොලර් 4,800 සිට 7199 දක්වා – ඩොලර් 960 ක බදු සහනක්
* ඩොලර් 7200 සිට 11,999 දක්වා – ඩොලර් 1,440 ක බදු සහනක්
* ඩොලර් 12,000 සිට ඩොලර් 23,999 දක්වා – ඩොලර් 2,400 ක බදු සහනක්
* ඩොලර් 24,000ට වඩා වැඩි – ඩොලර් 4,800 ක බදු සහනක්

ඉන්ධන බෙදාහැරීමට අවසර හිමිවූ විදෙස් සමාගම් සමඟ ඉදිරි සති කිහිපයේ ගිවිසුම්ගතවීමට තීරණය කෙරේ

මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා අවසර හිමිවූ විදෙස් සමාගම් තුන සමග ඉදිරි සති කිහිපය තුළ ගිවිසුම්ගතවීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ඉදිරි මාස දෙක තුළ එම සමාගම් විසින් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉන්ධන සමාගම්වල තරගකාරීත්වය හරහා ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අද කොළඹට රැස්වන විරෝධතාකරුවන්ට ස්ථාන කිහිපයකට ඇතුළුවීම තහනම් කෙරේ

අද (04) දහවල් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වීමට නියමිත විරෝධතාවයට සහභාගි වන්නන්ට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශයට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

විරෝධතාවයට සහභාගි වන්නන්ට පෙළපාලියකින් ගොස් එම ස්ථානයන්ට ඇතුළුවීම, රාජ්‍ය දේපළවලට හානි කිරීම සහ රජයේ නිලධාරින්ගේ රාජකාරිවලට බාධා කිරීම තහනම් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ නියෝගය මේ සිදුවීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින වසන්ත සමරසිංහ, බන්දුල සමන් කුමාර, රවී කුමුදේශ් සහ උදේනි දිසානායක යන අය ඉදිරියේ කියවා භාරදෙන ලෙසද, නීතිවිරෝධි අන්දමින් කටයුතු කරන්නේ නම් නීති අනුව කටයුතු කරන ලෙසයි මහෙස්ත්‍රාත්වරයා පොලීසියට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

මාර්තු මාසයේ සංචාරකයින් 125,000 කට වැඩි පිරිසක් දිවයිනට පැමිණෙයි

මාර්තු මාසයේ මෙරටට සංචාරකයින් 125,495ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙම වසරේ මුල් මාස තුන තුළ සංචාරකයින් 335,679 ක් පැමිණ ඇති බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

මහ බැංකු පනත ව්‍යවස්ථානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතේ කිසිඳු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව සරල බහුතරයකින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

මහ බැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කථානායකවරයා මේ බව සඳහන් කළා.

ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප ගෙවීමට කැබිනට් අනුමැතිය

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින රාජ්‍ය සේවකයින් සඳහා මූලික වැටුප පමණක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මාර්තු මස 9 වන දා සිට අප්‍රේල් මස 25 වනදා දක්වා වු මූලික වැටුප ගෙවීමට ඊයේ (03) දිනයේ රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ බවයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ.

ඒ අනුව එළඹෙන අප්‍රේල් මස 10 වනදාට පෙර සියලුදෙනාටම මූලික වැටුප හිමිවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ලිට්‍රෝ ගෑස් මිල පහතට

අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල ගණන් පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.1005 කින් (නව මිල රු.3,728)

* කිලෝ ග්‍රෑම් 5 – රු.402 කින් (නව මිල රු.1,502)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.183 කින් (නව මිල රු.700)