රාජ්‍ය සේවා කොමිසමට නව සභාපතිවරයෙක්

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන සනත් ජයන්ත එදිරිවීර පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු සමඟ තවත් සාමාජිකයන් 6 දෙනෙකු පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ අනුමත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම් සිදුකර තිබෙනවා.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබෙනවා.

අද (07) සිට ක්‍රියාත්මක වන පරිදි ටින් මාළු රුපියල් 30 කින් , ලොකු ළූණු රුපියල් 22 කින් සහ පාන් පිටි රුපියල් 10 කින් වන ලෙස මිල අඩුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ මිල අඩුකිරීම පහතින්,

c4ad8470541b27093bb6368dedfc27a6

කබ්රාල්ට එරෙහි පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට අධිකරණ​ය නියෝග කරයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) තීන්දු කර තිබෙනවා.

අජිත් නිවාඩ් කබ්රාල්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව විත්තිකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පැමිණිලිකරු විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් එම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුව​ට ඉදිරිපත් කිරීම කල් යයි

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව කිහිපයකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බවත් පනත අධ්‍යනය කොට අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සුදුසු ප්‍රමාණවත් කාලයක් ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අප්‍රේල් අවසන් සතියේ හෝ මැයි මුල සතියේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පිරවුම්හල් 40 ක ඉන්ධන අලෙවිය අත්හිටුවයි

QR කේතයට පරිබාහිරව ඉන්ධන අලෙවිය දිගින් දිගටම සිදුකරන ලද ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමඟ පැවති ප්‍රගති සමාලෝචන හමුවකදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එසේම සියලුම ඉන්ධන පිරවුම්හල් ඔවුන්ගේ ඉන්ධන ටැංකි ගබඩා තුල ධාරිතාවෙන් අවම 50%ක ඉන්ධන තොග පවත්වාගෙන යා යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ආයතනය සතු සියලුම ටැංකි රථ වෙනුවෙන් GPS මෙවලම් සවිකිරීම අප්‍රේල් 15 වනදා වනවිට අවසන් කරන අතර පෞද්ගලික ටැංකි රථ වෙනුවෙන්ද එය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මහීෂ් තීක්ෂණ T20 ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට පැමිණෙයි

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි පළමු ක්‍රීඩකයින් 10 දෙනා අතරට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව ජගත් ක්‍රිකට් කවුසිලයේ නවතම ශ්‍රේණිගතකිරීම් වලට අනුව මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස පන්දු යවන්නන් අතර 10 වන ස්ථානයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

ඇෆ්ගගනිස්ථාන ක්‍රීඩක රශීඩ් ඛාන් විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණේ පසුවන අතර වනිඳු හසරංග එහි දෙවන ස්ථානයේ පසුවනවා.

අද ඩොලරයේ විකුණුම් මිල රු.330 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල අද (06) රු.330.56 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඩොලරයක ගැනුම් මිල අද වාර්තා වී ඇත්තේ රු. 313.29 ක් ලෙසයි.

හෙට සුරාසැල් විවෘතයි – සුරාබදු දෙපාර්තමේන්තුව

හෙට (07) මහ සිකුරාදා දින රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී පමණක් සුරාසැල් වසා තබන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය සඳහා තිබූ තහනම ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නිකුත්කර තිබූ නියෝගය ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව සිඩ්නි හි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව අද (07) යළි කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවූ අතර ඔහු මේ වන විට ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔහුගේ නඩුව යළි අප්‍රේල් 27 වනදා කැඳවීමට නියමිතයි.

සමෘද්ධි බැංකු නිලධාරීන් අද වැඩ වර්ජනයක

අද (06) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු සංගම් හා කාර්යාල නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි ප්‍රධාන ලේකම් ජී.එම්.ඒ.බී බස්නායක සඳහන් කළේ, සේවා සංයුතියේ සහ දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවයි.

මේ අතර ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩල සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වනවා.