IPL 2023 : ඊයේ තරග සාරාංශය

IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05) Punjab Kings කණ්ඩායම හා Rajasthan Royals කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 5 ක ජයක් ලැබීමට Punjab Kings කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Rajasthan Royals කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Punjab Kings කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 197 ක් ලබා ගත්තා.

එම තරගය අතරතුර Punjab Kings කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ ආබාධයකට ලක් වුණා.

පන්දු යවන අන්තයේ ඔහු රැඳී සිටින අවස්ථාවක පිතිකරණයේ නිරත වෙමින් සිටි ශිකර් ධවාන් එල්ල කළ පහරකින් අනතුරුව පෙරළා පන්දු යවන අන්තය වෙත වේගයෙන් පැමිණි පන්දුව භානුකගේ අතේ වැදීමෙන් ඔහු මෙලෙස ආබාධයට ලක් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Rajasthan Royals කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 192 ක් පමණයි.

ප්‍රති ත්‍රස්ත පනතට නීතීඥ සංගමයේ විරෝධය

රටේ පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් සෘජුව හෝ වක්‍රව සීමාකෙරෙන නීති සම්පාදනය නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ දැඩි ස්ථාවරය බව එම සංගමය නිවේදනය කරනවා.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු අදාළ පාර්ශ්වකරුවන් සමග ප්‍රමාණවත් උපදේශනයකින් තොරව බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරන්නේ.

පනත් කෙටුම්පතේ නිත්‍යානුකූලභාවය සහ එහි ප්‍රතිවිපාක සමාලෝචනය කිරීමට කමිටුවක් ද පත්කර ඇති බවයි සිය නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණයට දේශීය සමාගමක්

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුවිශේෂි ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවක් මුදල් අමාත්‍යාංශය විසින් පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව සුවිශේෂී සොයා බැලීමක් සිදුකර එම ආයතනවලට ගැලපෙන පරිදි ඉතා විනිවිදභාවයෙන් යුතු ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අදාළ ආයතනය වෘත්තීය මට්ටමේ අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ සමාගම් පනත යටතේ විධිමත්ව පරිපාලනය කරන බවත් ප්‍රතිව්‍යුහගත කළයුතු රජයේ ව්‍යාපාර Public Enterprise Holding Ltd නම් සමාගම යටතට පත් කරන බවයි රාජ්‍ය ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

එම සමාගම මැලේසියානු සහ සිංගප්පූරු සමාගම්වල මොඩලයට සමාන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තවත් බිත්තර තොගයක් දිවයිනට

ඉන්දියාවෙන් ආනයන කළ තවත් බිත්තර තොගයක් ඊයේ (04) රාත්‍රියේ දිවයිනට රැගෙනවිත් ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව බිත්තර මිලියන 04ක් ආනයනය කර ඇති බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ.

එම බිත්තර තොගය මේ වනවිට අනුමැතිය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවත් ඊයේ රාත්‍රී ආනයනය කෙරුනු බිත්තර නියදි අද (05) දිනයේ පරීක්ෂණාගාර වෙත යොමු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බත් පැකට්වල මිල පහළට

ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්වල මිල 20% කින් අඩු කිරීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එසේම ප්ලේන්ටියක මිල රුපියල් 30 ක් දක්වා අඩු කර ඇති බවයි එහි සභාපති අසේල සම්පත් වැඩිදුරටත් සඳහන් කළේ.

SLvsNZ 2nd T20 : නවසීලන්තයට කඩුලු 9 ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 9 ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 19 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 141 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුනු 37 ක්, කුසල් ජනත් පෙරේරා ලකුණු 35 ක් හා චරිත් අසලංක ලකුණු 24 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී සිටියදී 15 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉල්ලක්කය පසුකර යාමට සමත් වුණා.

ඒ අනුව මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැඟින් ජය ගනිමින් තරග එකට එකක් ලෙස සම තත්ත්වයේ පසුවන අතර තෙවන විස්සයි විස්ස තරගය එළැඹෙන 8 වනදා පැවැත්වීමට නියමිතයි.

SLvsNZ 2nd T20 : නවසීලන්තයට ලකුණු 142 ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 19 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 141 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුනු 37 ක්, කුසල් ජනත් පෙරේරා ලකුණු 35 ක් හා චරිත් අසලංක ලකුණු 24 ක් ලබාගත්තා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 142 ක්.

ජල සම්පාදන සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කරයි

සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් ජල සම්පාදන හා ජලාපවාහන සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කළේ, සියලු කාර්යාල සේවා හා පාරිභෝගික සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බවයි.

කෙසේ නමුත් ජනතාවට සිදුවන අපහසුතාව සලකා ජල සැපයුම පමණක් පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් පොම්පාගාර හා පවිත්‍රාගාර කටයුතු පමණක් සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක වන අතර චූලෝදර සහ මහෝදර නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලෙකු දැක ඇත්තේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනකයි.

පොහොය දිනය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වෙනවා.

SLvsNZ 2nd T20 : කාසියේ වාසිය නවසීලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (05) Dunedin හිදී පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

අද තරඟ⁣ය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර ඇති අතර ඒ අනුව චාමික කරුණාරත්න වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට කැඳවා තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායමේ කිසිඳු වෙනසක් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.30 ට ආරම්භ වීමට නියමිතයි.