මුළු රටේම බිත්තර මිල රු.35 වෙන දවස​ට ආහාර මිල අඩු කරන්න පුළුවන් – බේකරි හිමියන්

රටේ දෛනික බිත්තර අවශ්‍යතාව ලක්ෂ 50 කට වැඩි බවත් තවමත් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ බිත්තර ලක්ෂ 20 ක ප්‍රමාණයක් පමණක් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සහාපති එන්.කේ ජයවර්ධන පවසනවා.

මේ වනවිට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයට බිත්තර ලක්ෂ 3 ක් පමණ ලැබී ඇති අතර එය එක් බිත්තරයක් රුපියල් 35 ක මුදලකට බේකරි 25 කට පමණ බෙදාහැර ඇති බවත් ලංකාව පුරා බේකරි 6000 ක් පමණ ඇති බවයි ඔහු සඳහන් කළේ.

ලංකාව පුරා සෑම බේකරියකටම බිත්තර රුපියල් 35 කට ලබා ගැනීමේ හැකියාව ඇත්නම් එදිනට කෑම මිල අඩුකළ හැකි බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සහාපති එන්.කේ ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රියක් පීලි පැන සිදුවූ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබයි

ගල්ඔය දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.00 ට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ අංක 4790 දරණ මිශ්‍ර දුම්රිය අද (07) දහවල් ගල්ඔය හා කන්තලේ දුම්රිය ස්ථාන අතර ,අග්බෝපුර උප දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලී පැනීමකට ලක්ව තිබෙනවා.

පාර්සල් ප්‍රවාහනය කරන මැදිරියක් හා තවත් එක් මැදිරියක් පිලී පැනීමකට ලක්ව ඇති අතර, නියාමක තිරිංග මැදිරිය මෙම පීලී පැනීම හරහා පෙරලී ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරෙන් මේ වනවිට තුවාලකරුවන් 16 දෙනෙකු රෝහල වෙත රැගෙනවිත් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව එළැඹෙන සඳුදා සමුළුවක්

ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව එළඹෙන සඳුදා දිනයේ සමුළුවක් පැවැත්විමට නියමිත බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසනවා.

සියලුම වෘත්තිකයන්, ශිෂ්‍ය ව්‍යාපාරය, මහජනතාව හා සිවිල් සංවිධානවල සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව එම සමුළුවේදී මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිත බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට එවූ විදෙස් ප්‍රේෂණ ඉහළට

පසුගිය මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් ඩොලර් මිලියන 568.3ක් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව මේ වසරේ පළමු මාස 3 තුළදී මෙරටට ලැබී ඇති විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,413.2 ක් බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

පසුගිය වසරේ එම කාලසීමාව සමඟ සසඳන විට එය 80.6% ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.

ලංකා IOC පිරවුම්හල් 26 කට ඉන්ධන සැපයීම අත්හිටුවයි

QR කේතයට පරිබාහිරව ඉන්ධන අලෙවිය සිදුකළ ලංකා IOC ඉන්ධන පිරවුම්හල් 26 කට ඉන්ධන සැපයීම අත්හිටුවූ බව එම සමාගම නිවේදනය කරනවා.

QR කේතයට පරිබාහිරව ඉන්ධන අලෙවිය දිගින් දිගටම සිදුකරන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට ඊයේ (06) තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.

භාණ්ඩ වර්ග කිහිපයකට ආනයන තහනමක් පනවයි

භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා ආනයන තහනමක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එක් වරක් පමණක් භාවිත කළ හැකි බීම බට ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි ගෑරුප්පු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් මේ සඳහා ඇතුළත් බවයි සඳහන් වන්නේ.

අදාළ තහනම එලඹෙන ජුනි 01 දා සිට බලපැවැත්වෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අවුරුදු සමයේ විශේෂ බස් රථ සේවාව අද සිට ආරම්භ වෙයි

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ක්‍රියාත්මක කරන විශේෂ මගී ප්‍රවාහන සේවා අද (07) සිට ආරම්භ වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ, අද සිට ලබන 18 වනදා දක්වා ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා බස් රථ 7000 ක් පමණ යොදවා ඇති බවයි.

අද සිට ලබන 15 වන දින දක්වා කොළඹ සිට පිට පළාත්වලට බස් ධාවනය සිදුවන බවත් 15 වනදා සිට 18 වනදා දින දක්වා පිට පළාත්වල සිට කොළඹ දක්වා ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා බස් රථ යොදවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පොලිස්පතිගේ සේවා දිගුවට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සඳහා මාර්තු මස 26 වනදා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක සේවා දිගුවක් ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති බවයි සඳහන් වන්නේ.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පසුගිය මාර්තු මස 25 වන දා විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

88cde856776def58437724dae642c184

මහ සිකුරාදා දිනය අදයි

මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා.

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සහ කුරුසියේ ඇණ ගැසීම සිහිකිරීම සඳහා ඇති වත්පිළිවෙත් ඉටු කිරීමට කිතුණු බැතිමතුන් අද කටයුතු කරනු ලබනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදිම අද දිනයේ දී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබෙනවා.

IPL 2023 : ඊයේ තරග සාරාංශය

IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ (06) Kolkata Knight Riders කණ්ඩායම හා Royal Challengers Bangalore කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 81 ක ජයක් ලබා ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Kolkata Knight Riders කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 204 ක් ලබා ගත්තා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Royal Challengers Bangalore කණ්ඩායමට පන්දුවාර 18 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 123 ක් පමණයි.