ලෝක ආහාර උද්ධමන ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පහළට

ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ලොව ආහාර උද්ධමනය ඉහළම මට්ටමක පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව 10 වන ස්ථානය දක්වා පහළ බැස තිබෙනවා.

උද්ධමනය ඉහළම මට්ටමක පැවැති පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව දෙවැනි වූයේ සිම්බාබ්වේ සහ ලෙබනනයට පමණයි.

ඒ අනුව මේ වන විට 59% ක ආහාර උද්ධමනයක් පවතින ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ දසවන ස්ථානයේ පසුවන බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

457f4924db2012ba86be7a04f0fcfc4a

අප්‍රේල් 25 මැතිවරණය පැවැත්වෙන එකක් නැහැ – ජානක වක්කුඹුර

පළාත් පාලන මැතිවරණය එළැඹෙන 25 වනදාද නොපැවැත්වෙනු ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසම අතර පැවති විශේෂ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මැතිවරණ කොමිසම ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය සමඟ වෙනම සාකච්ඡාවක් පවත්වනු ඇති බවයි.

අප්‍රේල් මස 25 වනදා දක්වාත් ඉන් අනතුරුවත් මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවන ආකාරය සාකච්ඡා කළ බවත්, ඒ සඳහා මැතිවරණ කොමිසමෙන් නිර්දේශයක් එවීමට කටයුතු කරන බවට මැතිවරණ කොමිසමේ නිලධාරීන් එහිදී සඳහන් කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් පමණ කල් ‍යන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මැයි මස 29 වනදා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට පෙර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 15 වැනි දින පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

ගනුදෙනු නැකත වර්ජනය කරනවා – සමෘද්ධි වෘත්තීය සමිති එකමුතු​ව

සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ගනුදෙනු කිරීමේ නැකත සඳහා අප්‍රේල් මස 15 වනදා සමෘද්ධි බැංකු විවෘත කිරීමෙන් වැළකී සිටීමට සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.

සමෘද්ධි සේවකයින්ගේ දිරි දීමනා ගැටලුවක් මුල්කරගනිමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි එම එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ සඳහන් කළේ.

මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව හෙට (11) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ අද (10) පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කරන කරුණු සම්බන්ධයෙන් හෙට අවධානය යොමු කිරීමට නියමිතයි.

එහිදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු තීරණය කිරිමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

උත්සව සමයේ නගර වෙත පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

අලුත් අවුරුද්ද වෙනුවෙන් සාප්පු සවාරි සඳහා නගර වෙත පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව විශේෂ වැටලීම් සහ විශේෂ රථවාහන රාජකාරි සඳහා ද නිලධාරීන් වැඩි පිරිසක් නගර ආශ්‍රිතව යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

රථ වාහන හැසිරවීම සඳහා නිලධාරීන් යොදවා ඇති බවත් බීමත් රියැදුරන් හා අධික වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීම සඳහා කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

නගර වෙත පැමිණෙන ජනතාව සිය මුදල් සහ වටිනා භාණ්ඩ සම්බන්ධයෙන් අවධානයෙන් ක්‍රියාකළ යුතු බවත් ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ද අවධානයෙන් කටයුතු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේ.

වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු වැරදි ගැන වැටලීම් 1,500 ක් සිදු කරයි

උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, තොග සඟවා තබාගැනීම හා විකිණීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වැටලීම් 1,500 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව එම වැටලීම්වලට අදාළ වෙළඳුන්ට ඉදිරි දින කිහිපයක තුළදී නඩු පැවරීමට පියවර ගන්නා බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඊයේ (09) දිනයේ කුරුණෑගල, හල්මිල්ලවැව සහ කඩිගමුව යන ප්‍රදේශවල බිත්තර ගොවිපොළවල් පරීක්ෂා කිරීමට වැටලීම් කිහිපයක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

IPL 2023 : ඊයේ තරග සාරාංශය

IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ (09) පැවති තරගවලින් ජය ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම හා Sunrisers Hyderabad කණ්ඩායම් සමත් වුණා.

Gujarat Titans කණ්ඩායම හා Kolkata Knight Riders කණ්ඩායම අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් Gujarat Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Gujarat Titans කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 204 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Kolkata Knight Riders කණ්ඩායම 20 වන පන්දුවාරයේ අවසන් පන්දුවේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

මේ අතර Punjab Kings කණ්ඩායම හා Sunrisers Hyderabad කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 8 ක ජයක් ලබා ගැනීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Sunrisers Hyderabad කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Punjab Kings කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 143 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Sunrisers Hyderabad කණ්ඩායම 18 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගී වීම සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරගය අප්‍රේල් මස 16 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

බිත්තර ආනයනයෙන් ජනතාවට කිසිඳු සහනයක් ලැබුණේ නැහැ – කුකුළු ව්‍යාපාරිකයන්

බිත්තර ආනයනය කිරීමෙන් ජනතාවට කිසිඳු සහනයක් ලැබී නොමැති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි ජ්‍යෙෂ්ඨ අනුශාසක මාතලී ජයසේකර සඳහන් කළේ, මෙලෙස බිත්තර ආනයනයෙන් සිදුවූයේ දේශීය බිත්තර ව්‍යාපාරිකයින් කර්මාන්තයෙන් ඉවත්වීමේ පසුබිමක් නිර්මාණයවීමක් පමණක් බවයි.

රජය බිත්තර ආනයනය කර බලාපොරොත්තු වූයේ උත්සව සමයේ කේක් ඇතුළු නිෂ්පාදනවල මිල පහත හෙළීමට බවත් එයද සාර්ථක නොවූ බවත් පාරිභෝගිකයින්ටද මේ තුළින් කිසිඳු සහනයක් නොලැබුණු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.