සමුළුවක් සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වොෂින්ටන් වෙත යයි

ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ලබා ඇති ප්‍රගතිය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සහයෝගීතාව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව හෙට (10) වොෂින්ටන් හිදී පැවැත්වීමට නියමිත 2023 Spring Meeting හිදී එයට කදිම අවස්ථාවක් හිමිවෙනු ඇති බවයි සිය Twitter ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙම සමුළුව සඳහා රාජ්‍ය අමාත්‍යවරයාට අමතරව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනද එක්වීමට නියමිතයි.

03c18d4517b352f5f23ced89a5d4f8d6

උත්සව සමය වෙනුවෙන් වෙළඳසැල් පරික්ෂා කිරීම අදත්

සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ආහාර වෙළඳසැල් පරික්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දීප ව්‍යාප්තව ආරම්භ කර තිබෙනවා.

ඊයේ (08) දිනයේද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙළඳසැල් පරික්ෂා කිරීම සිදුකළ අතර එහිදී තලවකැලේ ප්‍රදේශයේ කල් ඉකුත්වූ ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමට කටයුතු කර තිබුණා.

පාස්කු ඉරිදා දිනය අදයි

පාස්කු ඉරිදා දිනය අද (09) යෙදී තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් උත්ථානය ලැබීම හෙවත් මරණයෙන් නැගී සිටීම සිහිකිරීම පාස්කු මංගල්‍යයේ දී සිදුකෙරෙනවා.

දින 40ක චතාරික සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් ආගමික වතාවත්වල යෙදෙමින් සිට අද මෙම මංගල්‍යයට එක්වන බවයි සඳහන් වන්නේ.

අද සෑම කිතුනු දෙව්මැඳුරකම විශේෂ දේව මෙහෙයක් පැවැත්වෙන අතර සියලු දෙව්මැඳුරුවලට විශේෂ පොලිස් රැකවරණය ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

IPL 2023 : ඊයේ තරග සාරාංශය

IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ (08) පැවති තරග දෙකෙන් ජය ගැනීමට Rajasthan Royals කණ්ඩායම හා Chennai Super Kings කණ්ඩායම් සමත් වුණා.

Rajasthan Royals කණ්ඩායම හා Delhi Capitals අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි Rajasthan Royals කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 199 ක් ලබා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Delhi Capitals කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 142 ක් පමණයි.

ඒ අනුව Rajasthan Royals කණ්ඩායම ලකුණු 57 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

මේ අතර Mumbai Indians කණ්ඩායම හා Chennai Super Kings කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Chennai Super Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Mumbai Indians කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 157 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Chennai Super Kings කණ්ඩායම 19 වන පන්දුවාරයේදී කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

කිසිඳු සේවකයෙකුට බෝනස් ලබාදුන්නේ නැහැ – ඛණිජ තෙල් සංස්ථාව

කිසිදු සේවකයෙකුට මෙම වසරේ බෝනස් ලබාදී නොමැති බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව ලිඛිතව ඉල්ලීමක් කර ඇති වැටුප් රහිත නිවාඩු ලබානොගත් සේවකයින්ට පමණක් මාස 10ක් තුළදී එම ණය මුදල හා පොළියත් සමග මාසික වැටුපෙන් අය කරගන්නා ගිවිසුම මත රුපියල් 30,000ක උත්සව අත්තිකාරම් ණය මුදලක් ලබාදී ඇති බවයි එම සංස්ථාව සඳහන් කළේ.

පුවත් පතක පළවූ ලිපියක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ බව සඳහන් කර තිබෙනවා.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙයි

බිඳවැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (09) දහවල් 12.00 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි සඳහන් වන්නේ.

රජය ප්‍රති-ත්‍රස්ත පනත හකුලා ගත යුතුයි – Human Rights Watch

ශ්‍රී ලංකා රජය විසින් යෝජිත ත්‍රස්ත විරෝධී පනත මගින් මූලික මානව හිමිකම් ක්‍රමානුකූලව උල්ලංඝණය කිරීමට බලධාරීන්ට බලය ලබාදෙන බව Human Rights Watch සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා.

රජය විසින් පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගත යුතු බවත්, ඕනෑම ත්‍රස්ත විරෝධී පනතක් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් ආරක්ෂා කරන බවට උපදේශන හරහා සහතික විය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මෙම පනත් කෙටුම්පත මගින් ගැටලු විසඳීම වෙනුවට දේපල හානි, සොරකම් හෝ මංකොල්ලකෑම් වැනි අපරාධ ඇතුළත් කිරීමට ත්‍රස්තවාදයේ නිර්වචනය පුළුල් කර ඇති බවත්, රැස්වීමේ සහ කතා කිරීමේ නිදහසට ඇති අයිතිය සීමා කිරීමට කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අපිව බය කරලා දේශපාලන වේදකාවන් හදාගන්න බැහැ – නාමල් රාජපක්ෂ

ඇතැම් දේශපාලන පක්ෂ, සිය පාක්ෂිකයන් බියට පත් කොට දේශපාලන වේදකාවන් නිර්මාණය කරගත හැකි බවට සිතා සිටියත් එසේ කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

පසුගිය වසරේ මැයි 09 වනදා තම පාක්ෂිකයන්ට පහර දී ගෙවල් ගිනි තබා බේරේ වැවට දැමූ බව ද පොහොට්ටු රැස්වීම්වලට පැමිණෙන පිරිස් වහලුන් ලෙසද නම් කළ බවද ඔහු පෙන්වා දෙනවා.

මෙය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල හැසිරීම නොවන බවත්, ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය ඒ සඳහා වගකිය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.

නිවාස ගිනි තබා විනාශ කළ අයට අද වනතුරු ආණ්ඩුවෙන් වන්දි හිමි නොවී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ඔවුන් සඳහා සාධරණයක් ඉෂ්ට විය යුතු බවයි.

උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීම් ඇරඹෙයි

ඊයේ (07) දිනයේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් දිවයින පුරා වැටලීම් 151ක් සිදුකර ඇති අතර බිත්තර සම්බන්ධව වැටලීම් 51 ක් ද පමණ සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ මේ වන විට වැටලීම් 1250 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර තිබෙනවා.

මෙම වැටලීම් නිවාඩු දිනයන්ගේ ද ක්‍රියාත්මක අතර, රාජකාරී දිනයන්හීද වැටලීම් සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

SLvsNZ : T20 තරඟාවලියේ ජය නවසීලන්තයට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය කණ්ඩායම අතර තෙවන T20 තරඟය නවසීලන්තයේ ක්වීන්ස්ටවුන් හිදී පැවැත්වුණා. එහිදී නවසීලන්තය කාසිය වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 06ක් දැවී ලකුණු 182ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුළු 06ක් දැවී ලකුණු 183ක් රැස් කළා.

එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටිම් සෙයිෆර්ට් වේගවත් ලකුණු 88ක් රැස් කළා, ටොම් ලේතම් ලකුණු 31යි.

පන්දු යැවීමේ දී ළහිරු කුමාර කඩුළු 03ක් සහ මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද මධුෂාන් කඩුල්ල බැගින් බිඳ දැම්මා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට කඩුළු 04 ජයක් හිමි වුණු අතර තරඟාවලිය 2-1ක් ලෙසද ජය ගැනීමට සමත්වුණා.