උත්සව සමයේ බිත්තරයක් රු.50 ට වඩා අඩුවෙන් අලෙවි කරන්න – බිත්තර නිෂ්පාදකයින්

උත්සව සමය තුළ බිත්තරයක් රුපියල් 50 කට අඩු මුදලකට අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය වෙළඳුන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව එහි සභාපති සරත් රත්නායක සඳහන් කළේ, මෙම දින තුනක හතරක කාලය තුළ හෝ මිල අඩුවෙන් පාරිභෝගිකයන්ට බිත්තර ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවයි.

ව්‍යාජ මුදල් සංසරණය සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම් දීමක්

උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බැවින් සාප්පු සවාරි යන මහජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව පොලීසිය පවසනවා.

ජාවාරම්කරුවන් උත්සව සමයේදී ව්‍යාජ මුදල් නෝට්ටු වෙළඳපලට එක් කිරීමට උත්සාහ දරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ.

එමෙන්ම තමන්ගේ ගමන් මළු හා භාණ්ඩ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ විකිණීම නොවෙයි – රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඒවා විකිණීම නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය ඒකාධිකාරීත්වය අවම කර ජනතාවට අවශ්‍ය සේවා කාර්යක්ෂමව ලබාදීමට එම ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් හැකියාව ලැබෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රජයට මෙම සමාගම් තුළින් නිශ්චිත බදු මුදලක් ආදායමක් ලෙස ලබා ගැනීමට හැකියාව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සීමානිර්ණ වාර්තාව අද අගමැතිට භාරදෙයි

නව සීමානිර්ණ වාර්තාව අද (11) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාරදිමට නියමිත බව අග්‍රමාත්‍ය කාර්යාලය පවසනවා.

ඒ අනුව සීමානිර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් අදාළ වාර්තාව භාරදීමට නියමිතයි.

ATM කාඩ් ​වලින් මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ATM කාඩ්පත්වලින් මුදල් වංචා කළ පුද්ගලයෙකු කාඩ්පත් 15ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ATM යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ට මුදල් ලබා ගැනීම සඳහා සහය වන මුවාවෙන් ඔවුන්ගේ රහස් අංකය ලබාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව අදාළ පුද්ගලයාට මුදල් සමග සැකකරු සතුව තිබෙන ව්‍යාජ කාඩ්පතක් ලබාදී නිවැරදි කාඩ්පත ඔහු සතුව තබා ගනිමින් මුදල් ලබාගැනීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ආහාර පනත උල්ලංඝනය ක​ළ වෙළෙඳසැල් 3,000 කට අධික ප්‍රමාණයක​ට නඩු

උත්සව සමයේ දිවයින පුරා ක්‍රියාත්මක ආහාර පරිහර‍ණ වෙළෙඳසැල් පරීක්ෂා කිරීම්වලදී ආහාර පනත උල්ලංඝනය කළ වෙළෙඳසැල් 3,000 කට වැඩි සංඛ්‍යාවකට නඩු පැවරීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අප්‍රේල් මාසේ 10 වනදා වන විට දිවයින පුරා වෙළඳසැල් 19,107ක් පරික්ෂාවට ලක් කර ඇති බවත් අප්‍රේල් මාසය අවසන් වන තුරු අඛණ්ඩව මෙය සිදුකරන බවත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළා.

භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත් 0112 635 675 යන දුරකථන අංකයට දැනුම්දීමක් සිදුකළහොත් අවශ්‍ය සේවාව කඩිනමින් සම්බන්ධ කරදීමට හැකියාව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා මේ දිනවල ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අංශ පවසනවා.

ඒ අනුව අලුත් අවුරුදු සමය වෙනුවෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම් පොළ ඇතුළු තෝරාගත් ප්‍රධාන නගරවල සිට විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්. පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.

එසේම අවශ්‍යතාව අනුව අතිරේක පෞද්ගලික බස් රථද ධාවනයට එක් කරන බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

විශේෂ දුම්රිය කිහිපයක්ද ධාවනයට එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

IPL 2023 : ඊයේ තරග සාරාංශය

IPL ක්‍රිකට් තරගාවලියේ Royal Challengers Bangalore කණ්ඩායම හා Lucknow Super Giants කණ්ඩායම් අතර පැවති තරගයෙන් එක් කඩුල්ලක ජයක් ලැබීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Lucknow Super Giants කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර විස්ස තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Lucknow Super Giants කණ්ඩායම අවසන් පන්දුවාරයේ කඩුලු 9 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද (11) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ ඊයේ (10) පැවති සාකච්ඡාවේදී සඳහන් කළ කරුණු පිළිබඳව අද දිනයේ අවධානය යොමු කිරීමට නියමිතයි.

ඉන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු තීරණය කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

සොරකම් කළ බවට සඳහන් ජංගම දුරකථනයක් ගැන කටුනායක ගුවන්තොටෙන් ප්‍රකාශයක්

කටුනායක ගුවන්තොටුපොළේදී ගුවන් මගියෙකුගේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ CCTV දර්ශන පරික්ෂා කිරීමේදී එවැනි සොරකමක් පිළිබඳ සාක්ෂි සටහන් වී නොමැති කටුනායක ගුවන්තොටුපොළ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මේ බව සඳහන් කළා.

අදාළ ගුවන් මගියාගේ ජංගම දුරකථනය මෙරටට පැමිණීමට පෙර මැද පෙරදිග රටක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති බව එම රටට සම්බන්ධ ගුවන් සේවාව විසින් දැනුම්දී ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එය අවසන් වූ වහාම එහිදී එළඹ ඇති නිගමන පදනම් කරගෙන අධිකරණමය ක්‍රියාමාර්ග සඳහා පිවිසීමට කටයුතු කරන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.