විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අප්‍රේල් 17 වනදා සිට සාමාන්‍ය පරිදි සිදු කිරීමට තීරණය කර ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

අලුත් අවුරුද්ද නිමිත්තෙන් විශේෂ බස්රථ සේවා අදත් ක්‍රියාත්මකයි

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ පෞද්ගලික බස්රථ සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

අද දිනයේ අනෙකුත් දිනවලට වැඩි පිරිසක් බස් රථ භාවිතා කරන බවට අපේක්ෂා කරන බැවින් අතිරේක බස් රථ යෙදවීමට ලංකා ගමනා ගමන මණ්ඩලය කටයුතු කර ඇති බවයි එහි සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.

දුර ගමන් සේවා බස්රථ සාමාන්‍ය පරිදි 13 වනදා දක්වා ක්‍රියාත්මක බවත් 14 වනදා දිනයේ බස් රථ කිහිපයක් පමණක් ධාවනය වනු ඇති බවයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

මැයි මාසයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට එළැඹීමට අපේක්ෂා කරනවා – මහ බැංකු අධිපති

එළැඹෙන මැයි මාසයේදී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට එළැඹීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරන්නේද නැතහොත් ද්විපාර්ශවික සාකච්ඡා මඟින් අවසන් එකඟතාවකට එළැඹෙන්නේද යන්න පිළිබඳව අදාළ පාර්ශව සමග අවසන් තීරණයකට එළැඹෙන බව Reuters පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙනවා.

එසේම ජාත්‍යන්තර ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවයට එළැඹීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවසන් නිගමනයන්ට එළැඹීමට අපේක්ෂා කරන බවයි මහ බැංකු අධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

IPL 2023 : ඊයේ තරග සාරාංශය

IPL ක්‍රිකට් තරගාවලියේ Delhi Capitals කණ්ඩායම හා Mumbai Indians කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 6 ක ජයක් ලැබීමට Mumbai Indians කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Delhi Capitals කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලකුණු 172 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Mumbai Indians කණ්ඩායම 20 වන පන්දුවාරයේ අවසන් පන්දුවේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

IMF වැඩසටහන පාර්ලිමේන්තුවේදී 25 වනදා විවාදයට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවේදී අප්‍රේල් 25 වනදා සිට විවාදයට ගැනීමට නියමිත බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (IMF/EFF) පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද එහිදී ඔහු සඳහන් කළා.

එහිදී දේශපාලන පක්ෂ තම රටට සහය දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට අවස්ථාව සැලසෙන බවයි විදේශ තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු දැනුවත් කිරීමට පැවති හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

අද පාස්පෝට් ලබා ගැනීමට සිටින අයදුම්කරුවන්ට දැනුම්දීමක්

අද (12) විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අද දින විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති සියලුම අයදුම්කරුවන් මධ්‍යාහන 12.00 ට පෙර පැමිණ සිය අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

එසේම අද දිනයේ වේලාවන් වෙන් කරවා නොගත් පිරිස් ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රදේශීය කාර්යාලවලට නොපැමිණෙන ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

නව සීමානිර්ණ වාර්තාව අනුව තේරී පත්වන සභික සංඛ්‍යාව අඩු කෙරේ

නව සීමානිර්ණ කොමිෂන් වාර්තාව අනුව පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වන සභික සංඛ්‍යාව අඩුකර ඇති බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඒ අනුව පත්කර ගන්නා නව පළාත් පාලන නියෝජිතයින් ගණන 4,714 ක් බවයි ඔහු සඳහන් කරන්නේ.

අද පෙරවරුවේ එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් අදාළ වාර්තාව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාරදී තිබුණා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක්

මෙරට සාගර කලාපයේ දී අනතුරට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සමුද්‍රීය පරික්ෂණ අධිකාරිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සහ ඕස්ට්‍රේලියානු නීති සමාගමක් සමඟ එක්ව කටයුතු කරගෙන යන බවත්, එහි හානියේ වාර්තාවන් මේ වන විටත් ලබාගෙන නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවයි.

සම්පුර්ණ නිවේදනය පහතින්,

9ebe2b65e895b986fd1441a066b7a265

90a3aaaaf5e650f28dca164906b891e3

පළාත් පාලන මැතිවරණය නැවතත් කල් යයි

අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය දෙවන වතාවටද කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව මේ වන විට අධිකරණයේ විභාගය වන නඩුවේ තීන්දුව මත හෝ මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ නිශ්චිත දිනයක් තහවුරුවීමෙන් අනතුරුව මැතිවරණ දිනයක් තීරණය කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්,

c448546165d59089cfe602825d36a4cc

කුකුළු මස් රු. 1350 කට අඩුවෙන් අලෙවි කරන්න – කුකුළු ව්‍යාපාරික සංගමය

උත්සව සමයේ කුකුළු මස් කිලෝවක් රුපියල් 1350 කට අඩු මුදලකට පමණක් මිලදී ගන්නා ලෙස සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

එහි සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ, උත්සව සමය හේතුවෙන් කුකුළු මස් ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.

කුකුළු මස් මිල වැඩි කිරීමට කිසිඳු හේතුවක් නොමැති බවත් සියලුම වෙළඳුන්ගෙන් එම මිලට වඩා අඩුවෙන් අලෙවි කරන ලෙස ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.