ඉන්දියාවේ දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ ඉහළ යාමක්

ඉන්දියාවේ දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව පසුගිය පැය 24 ක කාලය තුළ ඉන්දියාවෙන් වාර්තාවී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 10,158 ක් බවයි සඳහන් වන්නේ.

එසේම මරණ 16 ක් ද වාර්තාවී ඇති බවද, මෙය මාස 7 කින් පසු වාර්තාවූ ඉහළම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

සෑම වසරකම වැඩිම අනතුරු ප්‍රමාණයක් සිදුවන්නේ අප්‍රේල් මාසයේ 13,14,15 දිනවල – අජිත් රෝහණ

සෑම වසරකම වැඩිම අනතුරු ප්‍රමාණයක් සිදුවන්නේ අප්‍රේල් මාසයේ 13,14,15 යන දිනවල බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

වර්තමානයේ අලුත් අවුරුද්ද සැමරීමේදී තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධීකරණය කිරීමේ වේදිකාවක් දියත් කිරීමට තීරණය කරයි

ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීම සඳහා ණයහිමියන් සඳහා නව වේදිකාවක් ප්‍රකාශයට පත් කරන බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි පවසනවා.

ඒ අනුව මේ සඳහා චීනයද සම්බන්ධ වන්නේ නම් එය ඉතා හොඳ බවයි G7 මූල්‍ය නායකයින්ගේ රැස්වීමෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කර තිබෙන්නේ.

මෙවර G7 රැස්වීමේදී ශ්‍රී ලංකාව වැනි මධ්‍යම ආදායම් ලබන රටවල ණය අවධානම පිළිබඳව අවධානය යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

බිත්තර තොගයේ සහතිකය අද නිකුත් කෙරේ

පසුගියදා මෙරටට ආනයනය කළ බිත්තර තොගයේ සෞඛ්‍ය සහතික වාර්තාව අද (13) දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව විසින් පසුගිය සෙනසුරාදා දින අදාළ බිත්තර තොගයේ සාම්පල ලබාගෙන තිබූ අතර ඊයේ දිනය වනතෙක් ඒවා වරායෙන් නිදහස් කරගැනීම සඳහා සෞඛ්‍ය සහතිකය නිකුත් කර නොතිබූ බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පසුගිය සතියේ ගෙන්වූ බිත්තර තොගය ද හෝටල් සහ බේකරි කර්මාන්ත අතර බෙදාහැරිමට නියමිත අතර ඒ සඳහා ද මේ වනවිට ඇනවුම් බොහෝමයක් ඉදිරිපත් වී ඇති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

IPL 2023 : ඊයේ තරග සාරාංශය

IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ (12) Rajasthan Royals කණ්ඩායම හා Chennai Super Kings කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 3 ක ජයක් ලැබීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Chennai Super Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 175 ක් ලබා ගත්තා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Chennai Super Kings කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 172 ක් පමණයි.

ඉන්ධන අලෙවිය සහ QR කේතය මගින් ඉන්ධන ලබා ගැනීමට ඉහළ යයි

පසුගිය සතිය තුළ ජාතික ඉන්ධන අලෙවිය සහ QR කේතය මගින් ඉන්ධන ලබාදීම සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව බලශක්ති ඇමති කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 66ක ඉන්ධන අලෙවිය තාවකාලිකව අත්හිටුවීමෙන් පසු 60%ක පමණ තිබු QR කේතය මගින් ඉන්ධන අලෙවිය 80%කට වඩා ඉහළ වර්ධනයක් ලබා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

උත්සව සමයේ පවතින ඉන්ධන ඉල්ලුම අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදාහැරීම වර්ධනය කර ඇති අතර, ඒ අනුව දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 4,650ක් සහ ඔටෝ ඩීසල් දෛනිකව මෙට්‍රක් ටොන් 5,500ක් නිකුත් කර බෙදාහරිනු ලැබෙන බවයි Twitter පණිඩිඩයක් නිකුත් කරමින් අමාත්‍යයරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ Twitter පණිවිඩය පහතින්.

445f12299dd5f60c5d62367f77e241ff

අයර්ලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව එම සංචිතය සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 16 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා IMF ඉදිරිපත්ව සිටිනවා – ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා

දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත්ව සිටින බව එහි කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පවසනවා.

ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒකාබද්ධව වොෂින්ටන් හී පවත්වනු ලබන සමුළුවට එක් වෙමින් ඇය මේ බව සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට අර්බුදයෙන් මිදීම සඳහා සියල්ලන් එක්ව ඔවුන්ගේ කාර්යභාරය ඉටුකිරීම මේ මොහොතේ වැදගත්වන බවයි ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

රස කැවිලි හා කෙසෙල් මිල සීඝ්‍රයෙන් ඉහළට

අද (12) දිනයේ වෙළඳපොළේ රසකැවිලි මිල ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් චෝදනා කරනවා.

එසේම කෙසෙල් මිලද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර කෝලිකුට්ටු කිලෝවක මිල රුපියල් 600 ත් 700 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වූ සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ, මෙලෙස වැඩිවන මුදල් රජයට නොයන බවත් අතර මැදි කළුකඩ මාෆියාවට යන බවයි.

හෙට සහ අනිද්දා රටපුරා සුරාසැල් වැසෙයි

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට (13) සහ අනිද්දා (14) දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ නමුත් සුරාබදු රබී 07 සහ විශේෂ බුටික් විලා බලපත්‍රලත් හෝටල් වල නේවාසික සංචාරකයන්ගේ පහසුව උදෙසා එම බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

8ae657bf5a8ac2da89ca6c8e4b861a4d