උදෑසන 11 ත් පස්වරු 3 ත් අතර එළිමහනේ ගමන් කිරීම අවම කිරීමට පියවර ගත යුතුයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

අධික හිරු රශ්මියක් පතිතවන උදෑසන 11.00 ත් පස්වරු 3.00 ත් අතර කාලය තුළ එළිමහනේ ගමන් කිරීම අවම කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනතාවට දැනුම්දෙනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න සඳහන් කරන්නේ කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් සහ විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා පිරිස් විජලනයෙන් වැළැකීමට පියවර ගතයුතු බවයි. ඒ සඳහා අනෙකුත් දිනවලට වඩා වැඩිපුර ජලය පානය කරන ලෙසත් පැණි බීම පානයෙන් වැළකිය යුතු බවත් ඇය පෙන්වා දෙනවා.

එසේම අත්‍යවශ්‍ය කාරණාවලට හැරුණුවිට උදෑසන 11.00 ත් පස්වරු 3.00 අතර කාලය තුළ අව් රශ්මියට නිරාවරණය වීම වැළැක්වීම මඟින් ශරීරගත වන තාප‍යෙන් වන හානිය වළක්වාගත හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

පාසල් දරුවන් යොදා ගනිමින් මෙම දිනවල එළිමහනේ උත්සව පැවැත්වීමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අධික උෂ්ණත්ව​ය සම්බන්ධයෙන් පාසල් සිසුන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

පවතින අධික උෂ්ණත්වය මත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසද පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි අදාළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ. දහඩිය දැමීම හේතුවෙන් විජලන සහ ලවණ ඉවත්වීම හේතුවෙන් ඇති වන මස් පිඬු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්වයන් ඉහළ යාම මෙහි බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා. එමෙන්ම පාසල් ක්‍රියාකාරකම්වල නිරත වීමේ දී අධික උෂ්ණත්වය පවතින දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළැක්වීම මෙන්ම විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතු බවයි සෞඛ්‍ය අංශ දැනුම්දෙන්නේ. අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පාසලෙන් ඉවතට යැවීම වළක්වා ගැනීමත් අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා හා පුහුණුවීම් කටයුතු නැවැත්විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

ලෝක පාසල් චෙස් ශූරතා තරගාවලියේ අවුරුදු 9න් පහළ විවෘත ශූරතාව ශ්‍රී ලංකාවට

ග්‍රීසියේ පැවැති ලෝක පාසල් චෙස් ශූරතා තරගාවලියේදී වයස අවුරුදු 9න් පහළ විවෘත බාලක ශූරතාව දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙහස් රිත්මික කිරිංගොඩ ශිෂ්‍යයා සමත්වී තිබෙනවා.

ලෝක පාසල් කේවල චෙස් තරගාවලිය පසුගිය 14 දින සිට 22 දින දක්වා ග්‍රීසියේ රෝඩ්ස් නගරයේදී පැවැත්වී ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී අවුරුදු 9 න් පහළ බාලක ඉසව්වට ලොව පුරා ක්‍රීඩකයින් 61 දෙනෙක් සහභාගි වූ අතර, තරග වට 9 න් ලකුණු 7.5 ක් හිමි කරගනිමින් තෙහස් රිත්මික කිරිංගොඩ රන් පදක්කම දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

21557c546667e9496eb75a48ef9200aa

3db5e08e5c34af41a303d63ca71077d3

SLvsIRE 2nd Test : කාසියේ වාසිය අයර්ලන්තයට

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය අද (24) පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත් වුණා.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ එම රැස්වීම පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සඳහන් කළේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදය හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් අද සිට යළි ආරම්භ වෙයි

ජාතික අක්ෂි රෝහලේ තාවකාලිකව නවතා තිබූ සැත්කම් අද (24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් පසුගිය 14 වනදා සිට අක්ෂි ‍රෝහලේ සාමාන්‍ය සැත්කම් සියල්ල නවතා දැමීමට තීරණය කර තිබුණා.

අදාළ ඖෂධ වර්ගය ඉවත් කිරීමටත්, ඒ වෙනුවෙන් වෙනත් ඖෂධයක් භාවිත කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළේ.

ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විධායක සභාවේ රැස්වීමක් කැඳවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කරයි

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා විධායක සභාවේ රැස්වීමක් කැඳවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ, සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නම් පිළිතුරු පත්‍ර පරික්ෂාවට සහය ලබාදෙන බවයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට වන්දි ඉල්ලා අද සිංගප්පූරු අධිකරණයේ නඩු පවරයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුබත්වීම හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුවූ පරිසර හානියට අදාළ වන්දි ඉල්ලා අද (24) දිනයේ සිංගප්පූරු අධිකරණයකදී නඩු පැවරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සිංගප්පූරුවේ නීතීඥ සමාගමකට අදාළ කටයුතු සිදු කිරීම සඳහා භාරදී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම නෞකාව කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වුණේ 2021 වසරේ මැයි 20 වැනිදා වන අතර අනතුර හේතුවෙන් මෙරට මුහුදට බහාලුම් 1486 ක් පමණ ඇද වැටුනු බවයි සඳහන් වන්නේ.

හම්බන්තොට මුහුදු සීමාවේ භූ කම්පනයක්

හම්බන්තොට මුහුදු සීමාවේ අද (24) අලුයම භූ කම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

රිච්ටර් මාපකයේ ඒකක 4.4 කින් යුත් භූ කම්පනයක් හම්බන්තොට වෙරළට කිලෝමීටර 25.8 ක් ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේදී සිදුව ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

කෙසේ නමුත් මෙම භූ චලනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අදත් ප්‍රදේශ කිහිපයක සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (24) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර හා වයඹ සහ බස්නාහිර පළාත්වල මෙන්ම හම්බන්තොට, රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙලෙස මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

එම ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.