එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට වන්දි ඉල්ලා හෙට සිංගප්පූරු අධිකරණයේ නඩු පවරයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුබත්වීම හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුවූ පරිසර හානියට අදාළ වන්දි ඉල්ලා හෙට (24) දිනයේ සිංගප්පූරු අධිකරණයක දී නඩු පැවරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ.

මෙම නෞකාව කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වුණේ 2021 වසරේ මැයි 20 වැනිදායි.

පස් පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක සිටි පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේ, සැකකරුව ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සන්තකයේ තිබී රන් මාල තුනක්, වළලු ජෝඩු දෙකක්, තනි වළලක්, මුදු 8ක්, කරාබු දෙකක් හා පෙන්ඩන්ඩ් එකක් මෙන්ම ජංගම දුරකථන දෙකක් ද සොයාගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

යාපනය, ඩෙල්ෆ් දූපතේ ජැටියට ආසන්න මාවේලි ප්‍රදේශයේ නිවසක් තුළ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ කාන්තාවන් තිදෙනෙක් ඝාතනයට ලක්කර තිබුණා.

25 වනදා උතුරු නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක්

ලබන 25 වනදා උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්‍කම් පවසනවා.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්ව මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

ත්‍රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම හර්තාල් ව්‍යාපාරය පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් හෙට සිට යළි ආරම්භ වෙයි

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් හෙට (24) දිනයේ සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව සැත්කම් කිරීමෙන් පසු සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් පසුගිය 14 වනදා සිට අක්ෂි ‍රෝහලේ සාමාන්‍ය සැත්කම් සියල්ල නවතා දැමීමට තීරණය කර තිබුණා.

මේ වන විට සංකූලතා ඇතිවූ ඖෂධ භාවිතයෙන් ඉවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ.

‘අස්වැසුම’ සුභසාධක ප්‍රතිලාභ ගෙවීම ජූලි පළමු වැනිදා සිට ඇරඹෙයි

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ජූලි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව සංක්‍රාන්තික පවුල් සදහා ලබන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා මසකට රුපියල් 2,500 ක් ලබා දීමට නියමිත අතර අවදානමට ලක් වූ පවුල් සඳහා මසකට රුපියල් 5,000 ක් ලබන වසරේ මාර්තු 31 දක්වා ලබාදීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එසේම දුප්පත් පවුල් සඳහා 8,500ක දීමනාවක් ජූලි පළමු වනදා සිට වසර තුනක කාලයක් ලබා දීමට තීරණය කර ඇති අතර අන්ත දිළිදු පවුල් සඳහා ද රුපියල් 15,000ක දීමනාවක් ජූලි පළමු වැනිදා සිට වසර 03ක කාලයක් ලබා දීමට නියමිතයි.

පොහොට්ටුවේ මහ සභා රැස්වීම නීත්‍යානුකූල නැහැ – ජී.එල්

ඊයේ (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීම කිසිසේත් නීත්‍යානුකූල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

ඒ අනුව එම රැස්වීමේ ගන්නා ලද සියලු තීරණ ශුන්‍ය හා ක්‍රියාවිරහිත වන අතර, ඒවාට කිසිම වලංගු භාවයක් අයත් නොවන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ.

එම තීරණ නීතිවිරෝධී බවට ප්‍රකාශ කිරීම සඳහා සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීරණ වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ව්‍යාජ ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

අකුරණ ආගමික ස්ථානයකට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට පසුගියදා 118 හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ ඇමතුමක් ලබාදුන් පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර – හාරිස්පත්තුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුවේ නිලධාරින් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන බවයි සඳහන් වන්නේ.

ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරනවා – ජනපති

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව එම ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති Business Today සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

යෝජිත ත්‍රස්ත විරෝධී පනතින් සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසි වනවා – මහානාහිමිවරුන්

යෝජිත ත්‍රස්ත විරෝධී පනත මඟින් රට වැසියාට සිදුවන බලපෑම ගැන ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව අදාළ පනතේ ඇතැම් වගන්ති මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග වන රටවැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසිවීම හේතුවෙන්, ඒ පිළිබඳව දැඩි විරෝධයක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ උද්ගතවී ඇති බවයි මහානාහිමිවරුන් සිය ලිපිය මඟින් පෙන්වා දෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලන ක්‍රමය වෙනුවට අහිතකර වාරණ ක්‍රමවේදයන් මඟින් කටයුතු කිරීම රාජ්‍ය පාලනයේ වගවීම හා විනිවිද භාවය පිළිබඳ මහජනතාව තුළ දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය කරන බැවින් සහ එය නව සමාජ අර්බුද ඇතිකිරීමට හේතු විය හැකි බවද මහානාහිමිවරුන් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් පුළුල් සමාජ සංවාදයක් ඇතිකර විශේෂඥ මණ්ඩලයක් හරහා මෙම පනත් කෙටුම්පතෙහි නුසුදුසු වගන්ති ඉවත් කොට සකස් කිරීම සුදුසු බවයි ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

රාමසාන් උත්සවය අදයි

ලෝකවාසී ඉස්‌ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට (22) යෙදී තිබෙනවා.

පුරා දින 30ක් උපවාසයේ නිරත වීමෙන් පසුව නව සඳ නිරීක්ෂණය වීමෙන් පසුව ෂවුවාල් මාසයේදී (දහ වන මාසය) ඉස්ලාම් භක්තිකයෝ සිය රාමසාන් උත්සවය සමරන බවයි සඳහන් වන්නේ.

ලෝකවාසී ඉස්‌ලාම් බැතිමතුන් විසින් සමානාත්මතාවයේ දිනය හෙවත් ඊදුල් ෆිතර් උත්සවය සමරන අතර රාමසාන් උත්සවය ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමතුන් විසින් හරසරින් සමරනු ලබයි.