SLvsIRE 2nd Test : කුසල්ගෙන් ශතකයක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.

කුසල් මෙන්ඩිස් සිය ශතකය වාර්තා කිරිම සඳහා හතරේ පහර 7 ක් හා හයේ පහර 5 ක් එල්ල කර තිබුණා.

නිශාන් මදුෂ්ක ද අද උදෑසන සිය මංගල 150 වාර්තා කළ අතර මේ වන විට ඔහු නොදැවී ලකුණු 177 ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 426 ක් ලබා සිටිනවා.

වසන්ත කරන්නාගොඩට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කෙරේ

වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට සිය රටට ඇතුළුවීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය විසින් තහනමක් පනවා තිබෙනවා.

යුද ගැටුම් පැවති සමයේ එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීමේ දී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් හේතුවෙන් වසන්ත කරන්නාගොඩ මහතාට එම තහනම පැනවීමට තීරණය කර තිබෙනවා.

අධිවේගී මාර්ගවල ගාස්තු ඉහළ දැ​මේ

අධිවේගී මාර්ගවල අයකරන සේවා ගාස්තු ඉහළ දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර රු.50 සිට ඉහළට සියලු අධිවේගී මාර්ග සේවා ගාස්තු මෙමඟින් සංශෝධනය කර තිබෙනවා.

කොළඹ සහ රත්නපු​ර ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙය බල පැවැත්වෙන බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

අදාළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව මේ පිළිබඳව විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

IMF ගිවිසුම ගැ​න පාර්ලිමේන්තු විවාදය අද දෙවන දිනටත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (27) දෙවන දිනටත් පැවැත්වෙනවා.

ඒ අනුව එම විවාදය ඊයේ (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේදී ආරම්භ කළා.

මේ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම හෙට (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊයේ කොවිඩ් ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වෙයි

ඊයේ (25) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සමඟින් මෙරට වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 672,143 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් අඩු කිරීමට එකඟතාවක්

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් පහත හෙළීමට නිෂ්පාදකයින් එකඟත්වය පළ කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා දේශීය පාසල් බෑග් සහ සපත්තු නිෂ්පාදකයින් අතර පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළවී ඇති බවයි සඳහන් වන්නේ.

ඩොලරයේ මිල ඉහළ යාමට සාපේක්ෂව ඉහළ ගිය භාණ්ඩ මිල ඩොලරය අවප්‍රමාණය වූ අවස්ථාවේ දී යළි පහළ නොගිය බවත් මේ තත්ත්වය හේතුවෙන් මව්පියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

හැකි අවම මිලක් යටතේ තම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා නිෂ්පාදකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව ඔවුන් එයට එකඟතාව පළකර ඇති ඇති බව සඳහන්. අදාළ නිෂ්පාදන කුමන ප්‍රතිශතයකින් පහත හෙළන්නේ ද යන්න පිළිබඳ මැයි මස 23 දා නිල වශයෙන් දැනුම් දෙන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

SLvsIRE 2nd Test : තරගයේ 3 වන දිනයට වර්ෂාවෙන් බාධා

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (26) වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් නියමිත වේලාවට පෙර තරගය අවසන් කිරීමට සිදු වුණා.

ඒ අනුව තුන්වන දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 357 ක් ලබා සිටිනවා.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 115 කට දැවීගිය අතර නොදැවී පන්දුවට පහරදෙන නිෂාන් මදුෂංක ලකුණු 149 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 83 ක් ලබාගෙන තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 135 ක් පිටුපසින් සිටිනවා.

SLvsIRE 2nd Test : දිමුත් සහ නිෂාන් ශතක වාර්තා කරයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේදී ශතක වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සහ නිෂාන් මදුෂ්ක සමත් වුණා.

දිමුත් කරුණාරත්න සිය 16 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීම සඳහා හතරේ පහර 13 ක් වාර්තා කළ අතර ලකුණු 115 ක් ලබා සිටියදී ඔහු දැවී ගියා.

සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ නිෂාන් මදුෂ්ක මේ වන විට නොදැවී ලකුණු 104 ක් ලබා සිටිනවා. ඔහුගේ ශතකයට හතරේ පහර 14 ක් හා එක් හයේ පහරක් ඇතුලත් වුණා.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 228 ක් ලබා සිටිනවා.

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

අද (26) මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.

ඒ අනුව කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් විය හැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ.