සුඩානයේ කොටුවී සිටි ශ්‍රී ලාංකිකයින් 13 ක් බේරා ගැනේ

සුඩානයේ කොටුවී සිටි ශ්‍රී ලාංකිකයින් 13 ක් නිරුපද්‍රිතව බේරාගත් බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසනවා.

ඒ අනුව Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඉතිරි පිරිස ඉන්දියාවේ හෝ සෞදි අරාබියේ සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරන බවයි.

මේ වන විට සුඩානයේ ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු කොටුවී සිටින බවත් මේ වන විට එහි පවතින අස්ථාවරත්වය හේතුවෙන් ඇතිවී ඇති යුද ගැටුම් නිසා එරට සිටින පිරිස් අනාරක්ෂිතභාවයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

උප්පැන්න සහතික නොමැති පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පත් ලබාදීමට නව ක්‍රමවේදයක්

උප්පැන්න සහතික නොමැති පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

අවශ්‍ය තොරතුරු ඇතුළත් චක්‍රලේඛයක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරී නිලධාරීන් වෙත නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව වයස අවුරුදු 40 ඉක්මවූ, ජාතික හැඳුනුම්පතක් නොමැති ශ්‍රී ලාංකික පුරවැසියන්ට ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත්‍රය සමග නම හා උපන්දිනය සනාථ කිරීමට ලිඛිත සාක්ෂි ලෙස දරුවන්ගේ උප්පැන්න සහතික, පාසල් හැරයාමේ සහතිකය, වැඩිහිටි හැඳුනුම්පත්, වලංගු ගමන් බලපත්‍රය වැනි ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් ජාතික හැඳුනුම්පතක් ලබාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම වයස අවුරුදු 40 නොඉක්ම වූ උප්පැන්න සහතිකයක් නොමැති පුරවැසියන්ට ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය සමඟ අනුමාන වයස් සහතිකය හෝ දරුකමට හදා ගැනීමේ සහතිකය සමඟ අදාළ අනෙකුත් ලියවිලි ඉදිරිපත් කිරීම මඟින් ජාතික හැඳුනුම්පතක් ලබාගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ආනයනික බිත්තරවලට වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වෙලා – රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා වන සහතික ලබාදීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් තවදුරටත් ප්‍රමාදවීම හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කරන්නේ, සැලසුම් කල පරිදි බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වී ඇති බවයි.

ඉදිරියේදී තවත් මිලියන 05කට ආසන්න ප්‍රමාණයක් බිත්තර ආනයනය කිරීම සඳහා ඇනවුම් ලබා දී ඇති බවත්, මේ වන විටත් බිත්තර මිලියන 3 ක පමණ ප්‍රමාණයක් වරාය තුළ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

හැකි ඉක්මනින් අදාළ වාර්තාව ලබා දෙන්නේ නම් එම බිත්තර තොගය නිදහස් කළ හැකි බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහනක්

බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහනක් අද (26) සිට ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසිංහ පවසනවා.

ඒ අනුව බස්නාහිර පළාත තුළ පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි ඔහු සඳහන් කළේ.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 27,800 ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රිකයෙන් බවයි වෛද්‍ය ඉන්දික වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

කඩිනම් සාකච්ඡාවක් ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ජනපතිට ලිපියක්

කඩිනම් සාකච්ඡාවක් ඉල්ලා අද (26) දිනයේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

ඒ අනුව එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වන්නේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව බවයි.

අද (25) විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක සභාව රැස්වීමෙන් අනතුරුව උසස්පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව ගන්නා බව ඔවුන් ඊයේ (25) දැනුම් දුන්නා.

IMF ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (26) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම විවාදය ලබන 28 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර විවාදය අවසානයේ ඡන්ද විමසීමක්ද පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙලෙස මෙම විවාදය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකුට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබෙනවා.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන තනතුර දක්වා මාරුකර යවා ඇති බවයි සඳහන් වන්නේ.

එසේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් පී මැදවත්ත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා සහ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබෙනවා.

මේ අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

ඉහළ දැමූ ඉන්ධන සලාක​ය නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණයක්

උත්සව සමය නිමිත්තෙන් ඉහළ දැමූ සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙනතුරු නොවෙනස්ව
පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවති ඛණිජ තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඉන්ධන කෝටාව ඉහළ නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන ඇණවුම් සැලසුමේ වෙනසක් නොවන බවට නිරීක්ෂණය වූ බවත් ඉන්ධන කෝටාව වැඩි කිරීමට පෙර පැවති දෛනික ඉන්ධන නිකුතුව හා සමාන බවට නිරීක්ෂණය වී ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

සමගි ජන බලවේගයෙන් විනය කමිටුවක්

පක්ෂය තුළ සිටිමින් පක්ෂය විවේචනය කරන පිරිස් සඳහා පියවර ගැනීමට විනය කමිටුවක් පත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (24) පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහන් කළේ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සඳහන් කළේ, පක්ෂය තුළ සිට වෙනත් පක්ෂ සඳහා සහයෝගය දක්වා ප්‍රකාශ නිකුත් කරන අයෙක් සිටීනම් ඔහුට එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කළ බවයි.

සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වැනිදා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් – අධ්‍යාපන ඇමති

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඒ අනුව දින 10 කදී සාමාන්‍ය පෙළ අවසන් කිරීමට කටයුතු කරන බවයි අද (25) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අද දිනයේ සුභවාදී ප්‍රතිචාරයක් ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බවත් ප්‍රශ්න පත්‍ර 10 ක ආචාර්යවරු ඊයේ (24) දිනයේ එම කටයුතු ආරම්භ කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.