අලි සබ්රි ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමුවෙයි

විදේශ අමාත්‍ය අලි සබ්රි කොරියාවේ සෝල් නුවරදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවී තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ 56 වැනි වාර්ෂික රැස්වීමට සමගාමීව මෙම හමුව සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී දෙරටේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා ද්විපාර්ශ්වික සබඳතා සහ ආර්ථික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.

රන්මිණිතැන්​න ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ කළමණාකරණයට අනුමැතිය

රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදයක් යටතේ කළමනාකරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට එලෙස අනුමැතිය හිමිව ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් කැබිනට් තීරණයක්

පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාර දුන් රාජ්‍ය සේවකයින්ට තමන් තරග කරන කොට්ඨාසය හැර ළඟම ඇති පළාත් පාලන කොට්ඨාසය තුළ රැකියාවල නිරත වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව රජයේ සේවකයින් සම්බන්ධයෙන් ඡන්දය පවත්වනු ලබන තෙක් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දන්සැල් පැවැත්වීමට පෙර ලියාපදිංචිය අනිවාර්යයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

දන්සැල් පැවැත්වීමට පෙර එය ලියාපදිංචි කිරීම අනිවාර්යය වන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

‍ඒ අනුව දන්සැලක් ලබාදීමට අපේක්ෂා කරනවා නම් දන්සැල ලබාදෙන පරිශ්‍රය ආසන්නයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් ලිඛිතව දැනුම් දුන් පසු අවශ්‍ය උපදෙස් ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.

මහජන උපයෝගීතා කොමිසම නීතිගරුකව වැඩකිරීම ඇමැතිට අපහසුවක් වෙලා – ජනක

මහජන උපයෝගීතා කොමිසම වෙනුවට නව කොමිසමක් ගෙන ඒමට බලශක්ති ඇමති සූදානම් වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.

තමාව ඉවත් කිරීමට නොහැකි නිසා මහජන උපයෝගිතා කොමිෂන් පනත ඉවත් කර නව පනතක් ගෙන ඒමට සූදානම් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මහජන උපයෝගීතා කොමිසම නීතියට අනුව වැඩකිරීම විදුලි බල සහ බලශක්ති ඇමතිවරයාට අපහසුවක් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම තමාට එරෙහි චෝදනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 113 කගේ ඡන්දයෙන් තමන්ව ඉවත් කරන තුරු බලා සිටින බවත් එසේ නොමැතිව තමන් ඉවත් නොවන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දැනට පත්කර නොමැති කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීම මෙම සතිය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ.

රාජ්‍ය සේවා කොමිසම, ප්‍රසම්පාදන කොමිසම සහ විගණන සේවා කොමිසම සඳහා සාමාජිකයන් පත් කිරීම අවසන් කර ඇති බවයි සඳහන් වන්නේ.

ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම, මුදල් කොමිසම, අධිකරණ සේවා කොමිසම, හා සීමා නීර්ණ කොමිසම සඳහා තවදුරටත් සාමාජිකයන් පත් කිරීමට නියමිත බවත් කෙසේ නමුත් මැතිවරණ කොමිසම සඳහා සාමාජිකයන් පත් කිරීම ගැන අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ට Online ක්‍රමය මඟින් අයඳුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඒ අනුව හෙට (04) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එම කාලය දීර්ඝ කළ බවත් ගුරුවරුන්ට ඇගයීම් කටයුතු සඳහා තවදුරටත් අයඳුම් කිරීමේ හැකියාව පවතින බවයි ඔහු සඳහන් කළේ.

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ට Online ක්‍රමය මඟින් අයඳුම්පත් කැඳවීමේ කාලය ඊයේ දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.

Airtel සහ Dialog ඒකාබද්ධ වීමට තීරණය කරයි

Bharti Airtel Lanka සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් Dialog Axiata PLC සමඟින් ඒකාබද්ධ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් Dialog Axiata PLC හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ විසින් කොළඹ වෙළෙඳපොළ දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව පාර්ශව දෙක විසින් අදාළ නියාමන බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ස.ජ.බ.යට එරෙහිව ඩයනාගේ පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම වෙයි

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

අදාළ පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ පෙත්සම ජුනි මස 8 වනදා විභාගයට ගැනීමට දින නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනයට සහාය පළකළේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් තමන්ව මන්ත්‍රි ධූරයෙන් නෙරපීමට කටයුතු කරමින් ඇති බවත්, එම තීරණයට එළඹීමට පෙර වගඋත්තරකරුවන් කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට කටයුතු නොකළ බවත් ඇය පෙන්වා දෙනවා.

ඒ අනුව සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීමට වගඋත්තරකරුවන් ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට, එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය පෙත්සමෙන් රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානියා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි ඇතුළු දූත පිරිසක් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු හා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අතර නිල හමුව ගුවන් හමුදා මුලස්ථානයේදී අද (02) පවත්වා තිබෙනවා.

ගුවන් හමුදා මුලස්ථානයට පැමිණි ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාපතිතුමන් නිල සාකච්ඡාවක නිරතවූ අතර එහිදි කළාපීය ගුවන් හමුදාවන් අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීම ඒකාබද්ධ පුහුණුවීම් හා තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනිම මෙන්ම, සමුද්‍රිය ආවේක්ශණ මෙහෙයුම් පුළුල් කිරිම පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.