ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල මේ මාසය තුළ ඉදිරිපත් කිරීමට සූදානම් – රංජිත් සියඹලාපිටිය

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල මේ මාසය තුළ ඉදිරිපත් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව රටට සුබවාදී ආකාරයෙන් එම කටයුතු සිදු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ශෙහාන් සේමසිංහ වැඩබලන මුදල් ඇමති ලෙස පත් කෙරේ

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගි වීම සඳහා එංගලන්තය බලා පිටත්ව යාම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ එංගලන්ත සංචාරය නිමාකර දිවයිනට පැමිණෙන තෙක් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමග දිස්ත්‍රික්ක තුනක් සඳහා පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, කෑගල්ල, මාතර, යන දිස්තිරික්ක වල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයැම් අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කර ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ (02) පස්වරු 4.00 සිට අද පස්වරු 4.00 දක්වා කාලය සදහා එම අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.

වෙසක් පොහොය වෙනුවෙන් දින තුනක් සුරාසැල් වැසේ

වෙසක් පොහොය නිමිත්තෙන් දින තුනක කාලයක් සුරාසැල් වසා දැමීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (04) හෙට (05) සහ අනිද්දා (06) දිනවල මෙලෙස සුරාසැල් වසා දැමීමට කටයුතු කරන බවයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ.

ජනපති එක්සත් රාජධානියට බලා පිටත්ව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (04) අලුයම එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව එක්සත් රාජධානියේ රජු සහ රැජින ලෙස III වන චාල්ස් සහ ඔහුගේ බිරිඳ කැමිලාගේ රාජාභිෂේකයට සහභාගීවීමට මෙලෙස ජනාධිපතිවරයා එක්සත් රාජධානියට ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය අදින් අවසන් වෙයි

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ට Online ක්‍රමය මඟින් අයඳුම්පත් කැඳවීමේ කාලය අද (04) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ට Online ක්‍රමය මඟින් අයඳුම්පත් කැඳවීමේ කාලය පෙරේදා (02) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබූ අතර පසුව එය අද මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.

වෙසක් නිවාඩුව වෙනුවෙන් විශේෂ බස් රථ හා දුම්රිය සේවා අද සිට ක්‍රියාත්මකයි

වෙසක් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය හා බස් රථ සේවා අද (04) සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අංශ පවසනවා.

ඒ අනුව වෙසක් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

හෙට (05) සහ ලබන 07 වනදා මෙම විශේෂ දුම්රිය ක්‍රියාත්මක කරන බවත් බදුල්ල බලා විශේෂ දුම්රියක් හා අනුරාධපුරය බලා විශේෂ දුම්රිය දෙකක් ධාවනය වන අතර යළිත් 07 වනදා බදුල්ලේ සිට කොළඹ දක්වා සහ අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වාත් එම දුම්රිය ධාවනය යන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම වෙසක් නිවාඩුව වෙනුවෙන් කොළඹ සිට පිට පළාත්වලටත් පිට පළාත්වල සිට කොළඹ දක්වාද විශේෂ බස් රථ සේවා අද සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන ඇරඹේ

ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය 2023 අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නංවා ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව 2022 වසරේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල මත 2024 වර්ෂයේ අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3,000ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම මෙම වසරේ සිදු කෙරෙන අතර දිවයින පුරා කලාප කාර්යාල 100 ආවරණය වන පරිදි කලාපයකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකු බැගින් ඒ සඳහා තෝරා ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ – කැබිනට් ප්‍රකාශක

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සිදුකරන විවිධ ප්‍රකාශ කතන්දර පමණක් බවයි අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී කිසිඳු පාර්ශවයකට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කිරීමට ජනාධිපතිවරයා විසින් අදාළ කමිටුවලට උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.100 කින් (නව මිල රු.3,638)

* කිලෝ ග්‍රෑම් 5 – රු.40 කින් (නව මිල රු.1,462)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.19 කින් (නව මිල රු.681)