සුඩානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙක් ඉවත් කර ගැනේ

සුඩානයේ යුද ගැටුම් අතරතුර ඉවත් කර ගැනුණු තුන්වන ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම ලෙස ලාංකිකයින් 11 ක් ජෙඩා නුවරට ළඟා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි පවසනවා.

ඒ අනුව මේවන විට ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු සුඩානයෙන් ඉවත් කරගැනීමට හැකිව ඇති බවයි සඳහන් වන්නේ.

සුඩානයේ නීත්‍යනුකූල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් සහ සුඩාන රාජ්‍ය හමුදාව අතර ගැටුම් තවදුරටත් අඛණ්ඩව සිදුවීම හේතුවෙන් රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇතිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

a09afb659891d8b6bda86ada081a8d04

ගෑස් මිල අඩු කිරීමට තීරණයක්

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව මිල සංශෝධනය වන ආකාරය හෙට (03) දිනයේ නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළා.

පාසල් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට තීරණයක්

පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

ඒ අනුව ඉන්ධන මිල පහළ දැමීමත් සමග මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා සඳහන් කළේ.

ඉන්ධන මිල ඉහළ දැමූ අවස්ථාවේදී ගාස්තු ඉහළ දැමූ ආකාරයෙන්ම ඉන්ධන මිල පහත දමන අවස්ථාවේදීද යම් මුදලක් අඩු කරන ලෙස ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජනපති සමඟ සාකච්ඡාවට අද දිනයක් ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වෙනවා – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්

ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාව සඳහා අද (02) දිනය තුළ දිනයක් ලැබෙනු ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එම රැස්වීම සම්බන්ධයෙන් අද දිනය තුළ දිනයක් ලබාදෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට අදාළ නිර්දේශ ලබාදෙයි

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට අදාළ නිර්දේශ ලබාදී ඇති බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඒ අනුව ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට සිය ඡන්ද කොට්ඨාසයෙන් බාහිර වෙනත් ප්‍රදේශයක තාවකාලිකව රාජකාරි කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට අදාළ වැටුප් සහ දීමනා ගෙවීමටද නිර්දේශ ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර වැඩිදුරටත් සඳහන් කළා.

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඉල්ලා සිටින්නේ.

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

ජාතික වෙසක් සතිය අදින් (02) ආරම්භ වනවා.

ඒ අනුව වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කළේ.

මෙවර වෙසක් පොහොය මැයි මස 5 වනදාට යෙදී ඇති අතර මෙම වෙසක් සතිය ලබන 08 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

එසේම මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතයි.

කොළඹ වෙඩි තැබීමකින් පුද්ගලයින් 8 ක් රෝහල් ගත කෙරේ

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී සිදුකළ වෙඩිතැබීමකින් 08 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද සිටින බවට සඳහන් වනවා.

එහි මාර්ග සංවර්ධන වැඩබිමක සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී වරායේ අදාළ මාර්ග සංවර්ධන වැඩබිමේ යකඩ සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකු ප්‍රශ්න කිරීමට යාමේදී ගම්වාසීන් පිරිසක් එහි පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇති අතර පසුව පෞද්ගලික ආරක්ෂක අංශය සතුව තිබූ ගිනි අවියක් උදුරාගැනීමට යාමත් සමඟ වෙනත් පෞද්ගලික නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.

සේවක අර්ථ සාධක අරමුදල ගැන කිසිඳු බියක් ඇති කරගන්න එපා – ජනපති

සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධව මේ වන විට අනියත බියක් ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළ ද වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන සේවක අර්ථ සාධක අරමුදලට කිසිඳු හානියක් සිදුවීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මේ උදා වී ඇත්තේ අන් කවරදාටත් වඩා ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවගේ අභිමානය ලොවට ප්‍රදර්ශනය කළ හැකි අවස්ථාවක් බවද, මෙම තීරණාත්මක අවස්ථාවේ පටු දේශපාලන වුවමනාවන්ට ගොදුරු නොවී රට පළමුව තබා කටයුතු කරන ලෙසද, කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

සමගි ජන බලවේගයේ මැයි දින රැලිය ගුණසිංහපුර දී ඇරඹෙයි

සමගි ජනබලවේගයේ මැයි පෙලපාලිය මෙවර මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයෙන් ආරම්භ වූ අතර ගුණසිංහපුර ඒ.ඊ ගුණසිංහ ක්‍රීඩාංගණයේ දී මැයි දින රැළිය මේ වන විට පැවැත්වෙනවා.

සමගි ජනබලවේගයේ මෙවර මැයි දිනය “වැඩබිමෙන් ඇරඹෙන මව්බිමේ අරගලය” ලෙස නම් කොට තිබෙනවා.