යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

තවත් යූරියා මෙට්‍රික් ටොන් 25000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව ලංකා පොහොර සමාගම මඟින් 60% ක් හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් 40% ක් වශයෙන් මෙලෙස යූරියා පොහොර ආනයනයට අවසර ලබාදෙන බවයි සඳහන් වන්නේ.

දන්නෝ බුදුන්ගේ ගීතය ජාතික උරුමයක් කිරීමට කැබිනට් අනුමැතිය

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම ගීතය මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙන උත්සව හා වෙනත් අවස්ථාවලදී, ජාතික ගීතයක් හා සමානව භාවිතයට ගැනෙන බවට සාක්ෂි ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දක්වා තිබෙන්නේ.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

812e0fcb297ed31378452cbb7f3798b7

නොරොච්වෝලේ 3 ඒකකය දින 100 කට වසා දමයි

දින 100ක කාලයක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ එක් ඒකකයක් වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව එළඹෙන ජුනි මස 13 වනදා සිට දින 100 ක කාලයක් මෙලෙස නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අදාළ කාලසීමාව තුළදී කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත් මෙම කාල සීමාවේදී අනෙකුත් තාප විදුලි බලාගාර සමඟ කළමනාකරණය කරගනිමින් අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

4c1135cfb0333821baf271ea382d34dc

මෝඛා සුළි කුණාටුවෙන් පවුල් 428 ක් බලපෑමට ලක්වෙයි

මෝඛා සුළි කුණාටුවේ බලපෑමෙන් ලංකාව සම්පූර්ණයෙන් මිදී ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

පසුගිය දිනවල අයහපත් කාලගුණයත් සමඟ ඇතිවූ ආපදා තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 කට පීඩා සිදුව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ සඳහන් කළේ.

එසේම අයහපත් කාලගුණයත් සමඟ පවුල් 428 ක් බලපෑමට ලක්ව ඇති අතර පුද්ගලයින් 1872 ක් පීඩාවට පත්ව ඇති බවත්, පුද්ගලයින් 7 ක් තුවාල ලබා එක් පුද්ගලයෙක් අතුරුදහන්වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

බොර තෙල් මිල පහත වැටෙයි

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.84 ක් දක්වා පහත වැටී ඇති අතර WIT බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.79 දක්වාද අඩුවී ඇති බවයි සඳහන් වන්නේ.

පසුගිය සති 4 පුරාම බොර තෙල් මිල පහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

විමල්ට එරෙහි අල්ලස් නඩුව කැඳවීමට දින නියම කෙරේ

හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ඒ මහතාගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කර තිබෙන මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ජුනි මස 16 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

එම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම නඩුව විත්තිකරුගෙන් දේශපාලනික වශයෙන් පළිගැනීම සඳහා ගොනුකරන ලද්දක් බවයි.

2009 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින්, සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

පිල් මාරුව තුළින් දේශපාලනය ජයග්‍රහණය කළ නොහැකියි – රංජිත් මද්දුමබණ්ඩාර

පිල් මාරුව තුළින් දේශපාලනය ජයග්‍රහණය කළ නොහැකි බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් සමගි ජන බලවේගයෙන් ඉවත් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය පළ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ, බිම් මට්ටමේ සිටින පාක්ෂියන් ඇත්තේ සමගි ජන බලවේගය සමඟ බවයි.

මහින්දව අගමැති කරන්න පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලීමක් කර නැහැ – සාගර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් කිසිඳු ඉල්ලීමක් කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඒ අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත්කිරීමේ සූදානමක් පවතින බවට පැතිර යන කටකතාවේ සත්‍යතාවයක් නොමැති බව ඔහු පෙන්වා දෙනවා.

හිටපු ජනාධිපතිවරයා නැවත තනතුරකට පත්කරන්නේ නම්, එය මෙරට ජනතාවගේ ආශිර්වාදයෙන් සිදුකරන බවත්, හොර රහසේ සිදුනොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

නව සංඝාධිකරණ පනතක් බලාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නවා – අධිකරණ ඇමති

මහා සංඝරත්නයේ උපදෙස් පරිදි සංඝාධිකරණ පනත නව සංශෝධන සහිතව බලාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේ, එම පනත සංශෝධන සහිතව බලාත්මක කිරීම හරහා ශාසනික කටයුතු පිළිබඳව මතුවන ගැටලු විසඳා ගැනීමට හැකිවනු ඇති බවයි.

සංඝාධිකරණ නිර්මාණය කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට බලය දෙන බවට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන ලද සම්පාදකයන් විසින් ප්‍රතිපාදන සාදා ඇති බවයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

ආපදා සහන සැලසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස බලධාරීන්ට උපදෙස්

දිවයිනේ ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින් මුදාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සමග ඊයේ (14) පැවති හමුවකදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එම උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

දැනට බොහෝ ප්‍රදේශවල ඇතිවී තිබෙන ගංවතුර බැසයාම කඩිනම් කිරීමට ගංගාවල මෝය කට හාරා පුළුල් කිරීමටත්, විපතට පත්වන ජනතාව මුදාගැනීමට අවශ්‍ය බෝට්ටු සූදානමින් තබාගන්නා ලෙසත් එහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබෙනවා.