රට පුරා ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ

ඩෙංගු මර්දන කාර්ය සාධක බලකාය සමඟ ඒකාබද්ධව ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව මේ වන විට ඩෙංගු ව්‍යාප්තිය මර්දනය සඳහා දීප ව්‍යාප්තව පුළුල් වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

පසුගිය වසරේ මුල් කාර්තුව හා 2023 වසරේ මේ දක්වා කාලය සංසන්දනය කරන විට මේ වන විටත් ඩෙංගු රෝගීන් 2000 ක පමණ වැඩි වීමක් වාර්තා වන බැවින් එම තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කර තිබෙනවා.

වෛද්‍ය පීඨ සිසු විරෝධතාවයක් විසිරුවා හැරීම​ට පොලීසියෙන් ජල ප්‍රහාර

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසකගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට කොළඹදී අද (16) පස්වරුවේ පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

රජයේ වෛද්‍ය පීඨවල ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලීම සහ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ රජයේ උත්සාහයට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

බණ්ඩි පොහොර මිල අඩු කිරීමට තීරණය කරයි

බණ්ඩි පොහොර මිල අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමිවී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව, බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මිල මෙම යල කන්නයේ දී රුපියල් 4,500 කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමිවූ බවයි සඳහන් වන්නේ.

ඊයේ (15) දිනයේ සිට බණ්ඩි පොහොර රුපියල් 15,000 ක මිලකට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරයට කේ.ඒ. රෝහණධීර පත් කෙරේ

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය සඳහා කේ.ඒ. රෝහණධීර මහත්මිය පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එළඹෙන මැයි මස 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති තිබෙනවා.

ජාතික පොලිස් කොමිසමට නව සභාපතිවරයෙක් පත් කෙරේ

ජාතික පොලිස් කොමිසමේ නව සභාපති ධුරය සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක පත්කර තිබෙනවා.

එහි සෙසු සාමාජිකයන්ද පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

WhatsApp වෙත Chat ලොක් කිරී​මේ විශේෂාංගයක් හඳුන්වා දෙයි

WhatsApp වෙත නව විශේෂාංගයක් හඳුන්වාදීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පරිශීලකයින්ට විශේෂිත Chat ලොක් කිරීමට ඉඩ සලසා ඇති බවයි Meta සමාගම නිවේදනය කරන්නේ.

එහි අදාළ විශේෂිත Chat අගුළු දැමූ පසු එය වෙනම ගබඩා කරන අතර එහි නම සහ පණිවිඩයේ අන්තර්ගතය ඒ තුළ සඟවන බවයි Meta සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ab1b0e56a0f06a49609d1c11c38877bc

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට නව ඒකකයක්

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවූ බවයි සඳහන් වන්නේ.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක්

මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල පහත් බිම්වල තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ කඹුරුපිටිය, අකුරැස්ස, අතුරලිය, තිහගොඩ, කද්දූව ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක ජලය රැදී පවතින බවයි.

සපත්තු පාලම්, බෝක්කු වැනි ස්ථානවල මාර්ග හරහා ජලය ගලා බසින්නේ නම් පරික්ෂාකාරීව මාර්ගය මැදින් ගමන් කිරීමට කටයුතු කරන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දෙණිපිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අකුරැස්ස වැලිගම මාර්ගයේ දෙණිපිටිය ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට නාඳුනන තුවක්කුකරුවෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ පිය පුතු දෙපළක් වන අතර ඒ අතරින් පියා මියගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීම දීර්ඝ කෙරේ

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පුර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය 2023 සැප්තැම්බර් 23 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි සඳහන් වන්නේ.

එතෙර රැකියාවල නිරත පුද්ගලයින් විසින් ඔවුන්ගේ ආදායම් නීත්‍යානුකූල ලෙස මෙරටට ප්‍රේෂණය කර ඇත්නම් ඔවුන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදීම රජයේ යෝජනාවක් අනුව ආරම්භ කර තිබුණා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

946bf8dd058687b376d6c98ea113b652