අන්තරේට නව කැඳවුම්කරුවෙක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව තිබෙනවා.

ඒ අනුව රජරට විශ්ව විද්‍යාලයේ පැවති සැසිවාරයේදී එම තීරණය ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

69f327fc1ee9990ab08b434ea57c7f72

ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් ප්‍රංශය, ඉන්දියාව සහ ජපානයේ මැදිහත් වීම G7 නායකයින්ගේ අවධානයට

ජපානයේ දී පැවැත්වෙන G7 ලෝක නායක සමුළුවේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද අවධානය ‍යොමුවී තිබෙනවා.

ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය එක්ව ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සාකච්ඡා මෙහෙය වීම සම්බන්ධව G7 ලෝක නායකයින්ගේ ප්‍රසාදය හිමිව තිබෙනවා.

එමෙන්ම ලෝක නායකයින් අවධාරණය කර ඇත්තේ මෙම රටවල් ත්‍රිත්වයේ මැදිහත් වීම අනාගතයේ දී මැදි ආදයම් රටවල ණය ගැටලුව විසඳීම සඳහා දියත් කරනු ලබන බහුපාර්ශ්වික ප්‍රයත්නයන් සඳහා ද සාර්ථක ආදර්ශයක් වනු ඇති බවයි.

ව්‍යාපාරිකයන් දේශපාලක​යන්ගේ වහලුන් නොවිය යුතුයි – සජිත්

ව්‍යාපාරිකයන් දේශපාලකයන්ගේ වහලුන් බවට පත් නොවී, ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන ක්‍රමවේදයක් රට තුළ ඇති කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

දේශපාලකයන්ගේ වගකීම වන්නේ ව්‍යවසායකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන පැරණි ක්‍රමය බැහැර කර, සිස්ටම් එක තුළින් පිළිතුරු ලැබෙන ක්‍රමවේදයක් නිර්මාණය කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අපක්ෂපාතී විනිවිධභාවයෙන් යුක්ත වූ ක්‍රමවේදයක් ඇති විට අල්ලස්, පගා ගැටලුවලටද විසඳුම් ලැබෙන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියා.

කැනේඩියානු මහකොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවයි

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් පසුගිය 18 වනදා ශ්‍රී ලංකාව සම්බන්ධව කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්වරයාව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවා ඇති බව වාර්තා වනවා.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රී විසින් මෙම කැඳවීම කර ඇති අතර, අමාත්‍යවරයා එහිදී කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ පසුගිය මැයි 18 වනදා නිකුත් ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදුකළ බවට වන ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කොට හෙළා දැක ඇති බවත් සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‍යේ සභාපති ධූරයට යළිත් ශම්මි සිල්වා පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා හිටපු සභාපති ශම්මි සිල්වා නැවත වතාවක් තේරී පත්ව තිබෙනවා. ඔහු එම ධූරයට පත් වූ තෙවැනි අවස්ථාව ලෙසද මෙය වාර්තා වනවා.

අද (20) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් ඔහු එම ධූරය සඳහා නිතරඟයෙන් තේරී පත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව ප්‍රකාශයට පත් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ධූරය සඳහා මොහාන් ද සිල්වා පත්ව තිබෙනවා.

බිත්තර ආනයනය කිරීම පුළුල් කිරීමේ අරමුණින් නියෝජිත පිරිසක් ඉන්දියාවට

මෙරටට බිත්තර ආනයනය පුළුල් කිරීමේ අරමුණින් ඉන්දියාවේ ‍කුකුළු සහ බිත්තර ගොවිපොළ පරික්ෂාව සඳහා නියෝජිත පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බවට වාර්තා වනවා.

ඉන්දියාවේ, චෙන්නාහි පිහිටි කුකුළු ගොවිපොළ කිහිපයක් අදාළ නිලධාරීන් විසින් පරික්ෂා කිරීමට නියමිතව තිබෙනවා.

දැනට ඉන්දියාවේ කුකුළු ගොවිපොළ 03කින් බිත්තර ආනයනය කිරීම සිදුකළත් එම ප්‍රමාණය, ප්‍රමාණවත් නොවීම නිසා බිත්තර ආනයනයට තවත් ගොවිපොළ හඳුනා ගැනීමේ අරමුණින් මෙම නියෝජිත පිරිස පිටත්ව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

උසස් පෙළ විභාගයේ තවත් විෂයන් 11ක ඇගයීම් කටයුතු ඇරඹෙයි

අ‍.පො.ස. උසස් පෙළ විභාගයේ තවත් විෂයන් 11කට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මධ්‍යස්ථාන 32කදී ආරම්භ කර ඇති බවට වාර්තා වනවා.

විභාග දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ මේ වන විට විෂයයන් 05 ක ඇගයීම් කටයුතු අවසන් කර ඇති බවයි.

එමෙන්ම සාමාන්‍ය ඉංග්‍රීසි (General English) විෂයට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීම මධ්‍යස්ථාන 100ට ආසන්න සංඛ්‍යාවකදී ලබන 26 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (20) කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ද මීට සමගාමීව පැවැත්වීමට තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඡන්ද විමසීමේ දී ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලතල ඇතුලු ධූර කිහිපයක් සඳහා සාමාජිකයින් පත් කරගැනීමට නියමිතව තිබෙනවා.

සතොස නඩුවෙන් ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකු නිදහස් කරයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඔවුන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යොදවා රජයට පාඩුවක් සිදුකළ බවට ඔවුන්ට චෝදනා එල්ලවී තිබුණා. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් විසින් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබූ අතර එම මූලික විරෝධතාව පිළිගත් විනිසුරුවරයා ඔවුන් නිදහස් කරන ලෙස නියෝග කර තිබෙනවා.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 10 ක ජල කප්පාදුවක්

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (19) රාත්‍රියේ සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 කාලයක් ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

අද රාත්‍රී 10.00 සිට හෙට (20) උදෑසන 08.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට සහ මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට බවයි සඳහන් වන්නේ.

එසේම කොළඹ 04, 05, 07 සහ 08 යන ප්‍රදේශවලටද එම කාලය තුළ ජල සැපයුම අත්තිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.